Saturday, July 9, 2016

පාලයියා ජෝතිට කියූ හින්දි බොරුව..

අද ලිපියේ සිදුවීමට සම්බන්ධ සංගීතවේදීන් දෙදෙනාම ශ්‍රී ලංකාවේ නම රැන්දුවෝ වෙති.  පළමුවැන්නා ප්‍රවීන සංගීතවේදී පී.එල්.ඒ. සෝමපාලයන්ය.  1921 සැප්තැම්බර් 13 වනදා මාලිගාකන්දේ උපත ලැබූ සෝමපාලයන් මරදානේ සෙන්ට් ලෝරන්ස් විද්‍යාලයෙන් අධ්‍යාපන කටයුතු අරඹා පසුව සංගීතවේදී ලයනල් එදිරිසිංහයන් වෙත ගොස් සිතාරය වාදනය හැදෑරීය. දක්ෂ වයලීන වාදකයෙකු ලෙසද හැකියාව ප්‍රගුණ කළ පී.එල්.ඒ. සෝමපාලයන්  1943 දී එවකට ‘ රේඩියෝ සිලෝන් ‘ හි සංගීත වාදකයෙකු ලෙස එක්ව ඇත. එකල ග්‍රෑමෆෝන තැටි සදහා සංගීත දායකත්වය ලබාදුන් සෝමපාලයන් , සුනිල් ශාන්තයන් හා යුග ගායනා වලට එක්වූ චිත්‍රා පෙරේරා නම් වූ සුකොමල තරුණිය හා විවාහ වී නව සංගීත යුගයක් බිහි කළේය. චිත්‍රා සෝමපාලයන් ගැයූ ඉසුරුමුණියේ, උඩරට කදුකර, ලලිත කලා, දඹුළු ගලේ, ගාලු පුරේ සිරී ආදී ගීත සියල්ලේම තනු නිර්මාණය වූයේ ඒ ආදරණීය සැමියා අතිනි.

ජෝතිපාල හා පී.එල්.ඒ දෙදෙනා අතර පැවතියේ දැඩි ලෙන්ගතු බැදීමකි. 70 දශකයේ ඇරඹෙන ජනප්‍රිය සිනමා රැල්ල සමග ජෝතිපාලයන් ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම එසැවෙන්නේ සෝමපාලයන් නිර්මාණය කළ අතිශය ජනප්‍රිය ගී සමුදාය නිසාය. එකල භාරතයේ අතිශය ජනප්‍රිය එහෙත් ලංකාවේ එතෙක් ජනප්‍රියව නොතිබූ හින්දි ගීත සොයා ඒවායේ තනු උපයෝගී කරගෙන සිංහල සිනමාවට අතිශය ජනප්‍රිය වූ ගීත දායාද කළේ පී.එල්.ඒ. සෝමපාලයන් හා ජෝතිපාල යන දෙදෙනා බව කීවොත් එය අතිශෝක්තියක් නොවේ. ‘කොයි යන්නේ ‘, ‘මේ දෑස මගේ පින්වන්තයි‘, ‘ඈත දිලිසෙන හිරු සදු‘ , ‘ සුසුදු රැල්ල‘ , ආදියෙන් පටන් ගෙන සිහිපත් කළහොත් ජනප්‍රිය චිත්‍රපට ගී සිය ගණනක් සිහිපත් කර ගත හැක. ජොතිපාලයන් තමන්ට ගැයීමට ලැබෙන ඕනෑම ආකාරයක තනුවක් උපරිම මට්ටමින් ගයන්නට හැකි අති දක්ෂ ගායන ශිල්පියෙකු විය. හින්දි තනුවකට අනුව ලියැවුනු කරු අයියාගේ පද වැලක් හින්දි තනුව අමතක වී “ අපේම ගීයක්“ ලෙස ගයන්නට ජෝතිට තිබුනේ පුදුම හැකියාවකි. “ එපා එන්න කියලා“, “ අඞන්නෙ ඇයි සුදු මැණිකේ“ ආදී ගීත ඇසෙන විට අදත් සිහිවන්නේ ජෝතිගේම ගීයක් මිස හින්දි තනුවක් නොවේ. බොහෝ ගායක ගායිකාවනට ‘ පාලයියා‘ වූ සෝමපාලයන් ජෝති ට නිකම්ම ‘පාල‘ ය. ඒ ජෝති එතරම් ම හිතවත් මිතුරෙකු වූ නිසාය. බොහෝ විට 70 දශකයේ චිත්‍රපටයකට ගීත 9 ක් පමණ ඇතුළත් වූ අතර ඉන් තුනක් හෝ හතරක් අනිවාර්යයෙන්ම ගයන්නේ ජෝතිපාල ය. ඇන්ජලීන් සමග යුග ගී කීපයක් හා එම්.එස් ගේ ගීයක්ද ඇතැම් විට බෙග් මාස්ටර්ගේ ගීයක් ද ඒ ගොන්නට එකතු වේ. ජෝති ට ලැබෙන හින්දි තනුවක් ගයන්නට පෙර පාල සමග ඒ ගැන කතා කිරීම දෙදෙනාගේම පුරුද්දකි.

එතුමා තමයි කැරපොත්තා..

හිටපු ජනපතිවරයෙකු වූ ජේ.ආර්. ජයවර්ධනයන් ගැන ඇති රසකතා , පොත් ගණනාවක් වුවද ලිවිය හැකි තරම්ය.  රස කතා, ආදර්ශ කතා, දේශපාලන කයිරාටික සිද්ධීන් වලින් පිරී තිබූ එතුමාගේ කතා පොතේ මෝඩ කතා නොතිබුනු තරම්ය. තමා කියවා තිබූ ඉතිහාස පොත්, දේශපාලන පොත්, චරිත කතා ආදිය තුළ තිබූ ඇතැම් කරුණු හා කියමන් කට පාඩමින් අවස්ථානුකූලව විවිධ රැස්වීම් වල ප්‍රකාශ කිරීමට ඔහුට තිබුනේ පුදුම දක්ෂතාවකි. ඔහු කෙතරම් බුද්ධිමතෙකුදැයි කියන්නට වරෙක අපූරු කියමනක් ඇසීමි. ප්‍රවීන රංගන ශිල්පී විල්සන් ගුණරත්න යන් රග දක්වන “ චරිත හතක්“ දර්ශනයකින් අනතුරුව ඔහුට සුබ පතද්දී, “ ඔබ ජේආර් විදියටම ඇවිදිනවා..ලොක්කා විළුඹ උස්සලා.. කකුලෙ ඇගිළි වලින් ඇවිද්දෙ ඇයි දන්නෙ නෑ නේද..“ මම ඇසීමි. “ ඇයි මචං.. ජේආර් ලොක්කගෙ යටි පතුලෙ ඉදන්ම මොළේනෙ.. ඔය මොළේ පෑගෙයි කියලා තමා මෑන් ඇගිළි වලින් ඇවිද්දෙ..“ ඒ ඔහුගේ පිලිතුරයි. මුවට සිනා නැගුනද, කාරණාව සැබෑ බව මට ද වැටහින.

ඉංග්‍රීසි බස ඉහලින් හදාරා තිබූ නිසා ඔහුට ඇතැම් අවස්ථාවන්හි දී සිංහල වචන පැටලී තිබුනි. එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරයන් ගේ නම කිසිම දිනක ඔහු නිවැරදිව කීවේ නැත. ‘රෝහණ‘ යන්නට ‘රොහාන්‘ යන්න යොදන්නට ඔහු සැලකිළිමත් වූයේ, ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක නායකයෙකු වුවද ඔහු තමාට නමවත් මතක නොහිටින පුද්ගලයෙකු බව හගවන්නටය. ඇතැම් ප්‍රසිද්ධ රැස්වීම් වලදී ජවිපෙ ගැන කියන්නට ගොස් නායකයාගේ නම අමතක බව බොරු නමක් වරද්දා කියමින් උදව් පතා වේදිකාවේ වාඩිවී සිටි අන් අයගේ පිහිට පැතූ කදිම රගපෑමක් ඔහු ඇතැම් විට කරනු දැකිය හැකි විය. වේදිකාවේ කවුරුන් හෝ ලොක්කා මතක් කරන්නේ රෝහණ විජේවීරගේ නම බව මතක් කර දුන්නද, එසැනින් අකුරක් දෙකක් වරද්දා එම නම කියන්නට ඔහු මතකයේ තබාගෙන සිටියේය. “ රොහාන් විජේවීර මහත්මයා මට අභියෝග කොරනවා. හැබැයි එතුමාට මතක් කරන්ට කැමතියි.. චන්දයෙන් පත්වුනු ආණ්ඩුවක්.. මුණ්ඩයෙන් පෙරළන්න ඉඩ දෙන්නෙ නැති බව.. මං එතුමට අභියෝග කරනවා පුළුවන්නං  ගෝල්ෆේස් එකට එන්න කියලා.. මාත් එක්ක අතින් පයින් හටං කොරන්ට..“ යනුවෙන් ද ඔහු වරෙක පැවසීය. හැබැයි ජේආර් සැබවින්ම ඉතා දක්ෂ මුෂ්ටි පොර කරුවකු බව එවකට විජේවීර ද දැන සිටියේ නැත.

මෛත්‍රීපාල ගෙන් විරුද්ධපාක්ෂික මන්ත්‍රී නිවසකට විදුලිය...

වත්මන් අගමැතිවරයාට ආරක්ෂක ලෙස ගමන් කරන්නට මෝටර් රථ දෙකක් සදහා කෝටි 54 ක් වෙන් කරන රටේ 1977 ට පෙර මන්ත්‍රීවරයෙකුට අළුතෙන් වාහනයක් අවශ්‍ය වේ නම් ‘ රජයේ සැපයුම් දෙපාර්තමේන්තුව ට ඇණවුම් කර බලා සිටිය යුතු විය. උසස් නිලධාරීන්ගේ පාවිච්චියට වෙන් කර තිබූ වාහනයක් ආපසු රජයේ සැපයුම් අංශයට බාර දුන හොත් එය ඉල්ලා සිටීමට මන්ත්‍රීවරයාට හැකිය. ඒ සදහා වරින් වර ලිපි ගණනාවක්ම එහි අධ්‍යක්ෂ වරයාට ලියමින් පිංසෙණ්ඩු වීමටද මන්ත්‍රීවරයාට සිදුවේ. එමෙන්ම මහජන මන්ත්‍රීවරයෙකුගේ වැටුප රු.1000 කි. ආනයනික චීත්ත යාරයක් 1.55 ක් වූ, සීනි රාත්තලක් ශත 72 ක්වූ, පාන් රාත්තලක් ශත 20 ක් වූ යුගයක රු.1000 ක වැටුප ලොකු ඉලක්කමකි. ඒ කාලයේ මන්ත්‍රීවරයෙකුට ලැබෙන විමධ්‍යගත අයවැය මුදලින් දිග අඩි 60 ක් හා පළල අඩි 20 ක් වූ පාසැල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට වෙන් කරන මුදල රුපියල් ලක්ෂයකි. අපූරු ගොඩනැගිල්ලක් තනා කොන්ත්‍රාත්කරු ලාබයක් ද ලබන්නේය.  මන්ත්‍රීවරයෙකුට නිදහස් දුම්රිය හා නිදහස් ලංගම ගමන් හැදුනුම්පත් දෙකක් ද ලැබේ. පුද්ගලික සහකාර වරයාට ද එවැනිම නිදහස් ගමන් බලපත්‍ර ලැබේ. යාල් දේවි ගමන් ගන්නා උතුරු දුම්රිය මගේ දෙපස ඉන්නා සියළුම මන්ත්‍රීවරු පාර්ලිමේන්තු යන්නේ දුම්රියෙනි. එහෙත් මහපාරේ යන එන ඇමතිවරු ද නොසිටියා නොවේ.

මැදවච්චිය නියෝජනය කළ මෛත්‍රීපාල සේනානායක විදුලිබල ඇමතිවරයා යාම් ඊම් කළේ කැකිරාව-තලාව-අනුරාධපුර පාරෙනි. 1974 පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඒ.ඇම්.ඇස්. අධිකාරි මහතාගේ ද නිවස පිහිටා තිබුනේ එම මාර්ගය අයිනේ හිරිපිටියාගම ය. එවකට රාත්‍රී වන විට මන්ත්‍රීවරයාගේ නිවස ආලෝක වී තිබුනේ ‘ පැට්‍රොමැක්ස්‘ ලාම්පු වලිනි. රාත්‍රී කාලයේ තම රථයෙන් අනුරාධපුරයට යන මෛත්‍රීපාල සේනානායක ඇමතිවරයා තම දිස්ත්‍රික් හිතවතාගේ නිවස මද අන්දකාරයේ තිබෙනු කිහිප දිනක් දැක ඇත. පාර්ලිමේන්තුවේ දී අධිකාරි මන්ත්‍රීවරයා දුටු මෛත්‍රීපාල ඇමතිවරයා “ අධි... කළුවරේ නේද රෑට ආසනේ මිනිස්සු එක්කලා කතා බහ කරන්නේ.. ගේ වයරින් කරගන්නවකෝ..“ යනුවෙන් කියා ඇත. මන්ත්‍රීවරයාගේ පිළිතුර වී තිබුනේ “ ගේ ඒ කාලෙ හදනකොටම වයරින් කලා.. ඉද හිට ලයිට් ඇන්ජිමක් හයි කරලා ලයිට් දා  ගන්නවා..“ යනුවෙනි. “ ආ... ඇත්තද.. “ කියමින් මෛත්‍රීපාල ඇමතිවරයා ඉවත්ව ගොස් ඇත.

ජවිපෙ උණ්ඩයට බයේ මාස්ටර් දුව දුව ගී ගයයි...

සන්නද්ධ අරගලයකින් ආණ්ඩුවේ බලය අල්ලා ගන්නට දෙවන වතාවටත් ආයුධ අතට ගත් ජනතා විමුක්ති පෙරමුණ තම චණ්ඩ බව දැඩි ලෙසම දැක්වූ වකවානුව වූයේ ද, ආණ්ඩුව ඉතා මිලේච්ඡ ලෙස ජවිපෙ මර්ධනය කිරීමේ භීෂණය පැතිරූ වකවානුව ද වූයේ 1989  සමයයි. ඇතැම් පළාත්  පුරා නිල නොලත් පාලනය ජවිපෙ යටතේ ක්‍රියාත්මක විය. 1989 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ මෙවැනි ඉතා දැඩි භීෂණකාරී වාතාවරණයක් මැදය. ජනතා විමුක්ති පෙරමුණේ නොනිල පාලනයක් දිවයිනේ ඇතැම් ප්‍රෙද්ශවල තිබුනි. නොඑසේනම් මහජනතාව ජවිපෙ භීෂණයට බියේ ඔවුනට නතු වූහ. මැතිවරණය නොනිල ලෙස තහනම් විය. චන්ද මධ්‍යස්ථානයට චන්දය දැමීම සදහා යන පළමු 5 දෙනා මරා දමන බවට තර්ජනය කළ පත්‍රිකා දිවයිනේ බොහෝ ප්‍රදේශයන් හි ප්‍රසිද්ධ ස්ථාන වල අලවා තිබින. මෙවන් වාතාවරණයක් යටතේ එජාප මැතිවරණ ප්‍රචාරක රැළියක ගී ගැයීම නොව එජාප රැළියක් පැවැත්වීම ද ජීවිතය පිළිබද අවදානමකි.

මැතිවරණ ප්‍රචාරක කටයුතු පැවැත්විය හැකි අවසන් දිනයේ කැප්පෙටිපොල නගරයේ පැවැත්වූ එජාප රැළිය ව පරණගම කරුණාරත්ත මන්ත්‍රීවරයාගේය. එහි වේදිකාවේ ගී ගයන්නට ගායන ශිල්පී කණ්ඩායමකට ඇරයුම් ලැබී තිබින. වේදිකාව මෙහෙයවීම මා විසිනි.  අප සියල්ලෝම එක් කුඩා බස් රථයක නැගී වේලාසනින් කොළඹින් පිටත් වුව ද අතරමග දී කළුවර පාත්වුනි. මග දිගට විදුලි ආලෝකයක් පවා නැත. තැනින් තැන මැතිවරණය තහනම් කළ බව දැක්වෙන රතු පැහැති පෝස්ටර් ගස්වල අලවා තිබේ. තේ වතු මැද්දෙන් අප එන තාරපාරේ සුදු තීන්තෙන් “ චන්දය දෙන්නන්ට මරණය “ යැයි තැන තැන ලියා ඇත.

කණ්ඩායමේ ශිල්පීන් අතර බෙග් මාස්ටර් මෙන්ම මංගල ප්‍රේමදාස ද වෙයි. මංගල ප්‍රේමදාස ශිල්පී කණ්ඩායම් ගමණක් යනවා යනු ඒ රථය එකම සිනා සාගරයකි.  ගමන පටන් ගත් තැන සිට අවසානය දක්වාට ඔහු නොනැවතී කතා කරයි. එක් එක් පුද්ගලයනට දුන් ‘ ලණු ‘ මතක් කර කර , තවත් රසවත් කරමින් කියයි. ජවිපෙ තර්ජනය ඔහුට විහිළුවකි. මංගල දෙන තරමක් ලණු දෙන්නේ ද බෙග් මාස්ටර් ටය. සාමාන්‍යෙයන් මාස්ටර් අසුන් ගන්නේ බස් රථයේ ඉදිරියේ පාපුවරුව අසල සීට් එකකයි. එක්වරම රථයේ පසුපසට දිව ආ මංගල “ දෙමුද මාස්ටර් ට ලණුවක්.. “ කියා අනෙක් ශිල්පීන්ගෙන් ඇසූ නමුදු කිසිවෙකු එය අනුමත කලේ නැත. “ අනේ මේ .. මාස්ටර්ව අවුස්සන්නෙ නැතුව හිටපං.. මංගල “ කියා කීපදෙනෙකු කීවද හිත යටින් මාස්ටර්ට ලණුවක් දෙනවාට කැමතිය.