Saturday, July 9, 2016

ජවිපෙ උණ්ඩයට බයේ මාස්ටර් දුව දුව ගී ගයයි...

සන්නද්ධ අරගලයකින් ආණ්ඩුවේ බලය අල්ලා ගන්නට දෙවන වතාවටත් ආයුධ අතට ගත් ජනතා විමුක්ති පෙරමුණ තම චණ්ඩ බව දැඩි ලෙසම දැක්වූ වකවානුව වූයේ ද, ආණ්ඩුව ඉතා මිලේච්ඡ ලෙස ජවිපෙ මර්ධනය කිරීමේ භීෂණය පැතිරූ වකවානුව ද වූයේ 1989  සමයයි. ඇතැම් පළාත්  පුරා නිල නොලත් පාලනය ජවිපෙ යටතේ ක්‍රියාත්මක විය. 1989 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ මෙවැනි ඉතා දැඩි භීෂණකාරී වාතාවරණයක් මැදය. ජනතා විමුක්ති පෙරමුණේ නොනිල පාලනයක් දිවයිනේ ඇතැම් ප්‍රෙද්ශවල තිබුනි. නොඑසේනම් මහජනතාව ජවිපෙ භීෂණයට බියේ ඔවුනට නතු වූහ. මැතිවරණය නොනිල ලෙස තහනම් විය. චන්ද මධ්‍යස්ථානයට චන්දය දැමීම සදහා යන පළමු 5 දෙනා මරා දමන බවට තර්ජනය කළ පත්‍රිකා දිවයිනේ බොහෝ ප්‍රදේශයන් හි ප්‍රසිද්ධ ස්ථාන වල අලවා තිබින. මෙවන් වාතාවරණයක් යටතේ එජාප මැතිවරණ ප්‍රචාරක රැළියක ගී ගැයීම නොව එජාප රැළියක් පැවැත්වීම ද ජීවිතය පිළිබද අවදානමකි.

මැතිවරණ ප්‍රචාරක කටයුතු පැවැත්විය හැකි අවසන් දිනයේ කැප්පෙටිපොල නගරයේ පැවැත්වූ එජාප රැළිය ව පරණගම කරුණාරත්ත මන්ත්‍රීවරයාගේය. එහි වේදිකාවේ ගී ගයන්නට ගායන ශිල්පී කණ්ඩායමකට ඇරයුම් ලැබී තිබින. වේදිකාව මෙහෙයවීම මා විසිනි.  අප සියල්ලෝම එක් කුඩා බස් රථයක නැගී වේලාසනින් කොළඹින් පිටත් වුව ද අතරමග දී කළුවර පාත්වුනි. මග දිගට විදුලි ආලෝකයක් පවා නැත. තැනින් තැන මැතිවරණය තහනම් කළ බව දැක්වෙන රතු පැහැති පෝස්ටර් ගස්වල අලවා තිබේ. තේ වතු මැද්දෙන් අප එන තාරපාරේ සුදු තීන්තෙන් “ චන්දය දෙන්නන්ට මරණය “ යැයි තැන තැන ලියා ඇත.

කණ්ඩායමේ ශිල්පීන් අතර බෙග් මාස්ටර් මෙන්ම මංගල ප්‍රේමදාස ද වෙයි. මංගල ප්‍රේමදාස ශිල්පී කණ්ඩායම් ගමණක් යනවා යනු ඒ රථය එකම සිනා සාගරයකි.  ගමන පටන් ගත් තැන සිට අවසානය දක්වාට ඔහු නොනැවතී කතා කරයි. එක් එක් පුද්ගලයනට දුන් ‘ ලණු ‘ මතක් කර කර , තවත් රසවත් කරමින් කියයි. ජවිපෙ තර්ජනය ඔහුට විහිළුවකි. මංගල දෙන තරමක් ලණු දෙන්නේ ද බෙග් මාස්ටර් ටය. සාමාන්‍යෙයන් මාස්ටර් අසුන් ගන්නේ බස් රථයේ ඉදිරියේ පාපුවරුව අසල සීට් එකකයි. එක්වරම රථයේ පසුපසට දිව ආ මංගල “ දෙමුද මාස්ටර් ට ලණුවක්.. “ කියා අනෙක් ශිල්පීන්ගෙන් ඇසූ නමුදු කිසිවෙකු එය අනුමත කලේ නැත. “ අනේ මේ .. මාස්ටර්ව අවුස්සන්නෙ නැතුව හිටපං.. මංගල “ කියා කීපදෙනෙකු කීවද හිත යටින් මාස්ටර්ට ලණුවක් දෙනවාට කැමතිය. 


එක් වරම මංගල මහ හඞින්  අම්මට සිරි... අද ෂෝ එක ඉවරයි...යනුවෙන් කෑ ගසනවාත් සමගම  අන් අය මෙන්ම මාස්ටර් ද විමතියෙන් ඔහු දෙස බැලීය. “ චන්ද රැස්වීම් වල මුලින්ම සිංදු කියන එක්කෙනාට වෙඩි තියනවා.. කියලා පෝස්ටර් ගහලා..“ සැවොම නිහඞය. “ ඒයි සක්කිලියා... යේක බොරු තමා කියන්න එපා.. “ මාස්ටර් මංගලට අමතන්නේ එළෙසය. “ බොරු නෙවෙයි මාස්ටර් .. මග දිගට පෝස්ටර්... මට නං ප්‍රශ්නයක් නෑ.. මගෙ අයිටම් එක මැදටනෙ දාන්නෙ.. නේද අයියා..“ ඔහු මගෙනුත් සාක්කියක් ඉල්ලයි.  මාස්ටර් මදෙස බලයි. “ ඒයි ළමයා..“ ඒ මාස්ටර් මා අමතන ආකාරයයි. මම ළගට යමි. “ අර සක්කිළියා බොරු කියනවා..“. “ නෑ මාස්ටර්.. පෝස්ටර් නං තිබුනා..“ ( මොන පෝස්ටර්දැයි මා කීවේ නැත. මං නිවැරදිය). “ ළමයා.. මාව දෙකට දාන්ඩ..“ . මාස්ටර් හොදටම බියවී ඇති බවක් දැනේ. 


මොහොතකින් අපගේ බස් රථය  වැලිමඩ පාරේ කැප්පෙටිපොල ඩිපෝව අයිනේ කුඩා වේදිකාවක් අසළ නවතී.  කරුණාරත්න මන්ත්‍රීවරයා ඉතා සතුටින් අපව පිළිගනී.  ඒ වන විටත් ඒ පළාතේ ලෝකල් වාදක කණ්ඩායම වැඩ අරඹා ඇති බවක් පෙනේ. “ නිමල්.. මාස්ටර්ව දාන්න..“ මන්ත්‍රීවරයා කාටත් ඇසෙන සේ දුන් උපදෙස මාස්ටර්ව මදක් තැති ගන්වා ඇත. “ මාස්ටර් .. පරිස්සමෙන්..“ මංගලගේ හැකර කට යළි අවදිවෙයි. අවස්ථාවේ හැටියට මට ද මංගල කෙනෙකු වන්නට සිතේ. “ මාස්ටර්ව දානවා එහෙනං... හැබැයි කෝකටත් වෙනදා වගේ එක තැන හිටගෙන සිංදු කියන්න එපා මාස්ටර්.එකතැන හිටගෙන හිටියොත් උන්ට ‘ඒම්‘ එක ගන්න ලේසිවෙනවා...“.. මම ලණුව තේඩාවක් කළෙමි. මොහොතකින් මාස්ටර් වේදිකාවේය. ලක්ෂ වාරයක් “ බුද්ධං සරණං..“ ගීතය ගැයුවද, බෙග් මාස්ටර් මිය යන තුරුම එම ගීය කටපාඩමෙන් ගැයුවේ නැත. උර්දු බසින් ලියන ලද , අතේ දාඩිය වලට අකුරු මැකී ගිය, නව නවා සුරුන්ඩු කළ සිංදුව ලියූ කොළයක් මාස්ටර් ළග ඇත. එය අතට ගත් මාස්ටර්..“ ඔබෙ රා...ගී........ මන කැළඹේ...දෝ.....“ ඇරඹීය. කිසිදා නොදුටු මාස්ටර්ගේ “ මාර්ච්පාස්ට්“ එක පටන් ගත්තේ එවිටය. මයික්‍රෆෝනය එක අතකට ගත් මාස්ටර් අනෙක් අතින් සිංදු කොළය ගෙන එහා මෙහා ඇවිදින අයුරු අප සැමටම ගෙන ආවේ දැවැන්ත හාස්‍යයකි. වම් අතට ගත් කඩදාසිය නැමුම් වලින් දිග හැරෙන්නේ ද නැත. වේදිකාවට හමා ආ වේගවත් සුළගකින් සිංදු කොළය නරඹන්නන් අතරට පියඹා ගියේ ඇසිල්ලකිනි. ඒ වන විට මාස්ටර් “ ක්ලේෂේ.. ඕ....ගේ... නෑ....වේදෝ........“ කියා ඇදගෙන සිටි මොහොතයි. නරඹන්නෙකු මා අතට පත් කළ දියවී ගිය ඇක්සයිස් පොත් කඩදාසිය මාස්ටර් අතට දුනිමි. මා දන්නා උර්දුවක් නොවූ නිසා , මාස්ටර් අතට සිංදු කොළය දී ඇත්තේ උඩු යටිකුරු පැත්තටය. “ එමවිට පවසන්නට..“ මාස්ටර් සිංදු කොළය ඒ මේ අත හරවයි. කාරණාව වටහා ගත් මම සැනෙකින් කොළය නැවත නිසි පැත්තට හරවා දුනිමි. දුව දුව ගීත කිහිපයක්ම ගැයූ මාස්ටර් තම ගීත අවසන් කොට බස් රථයට විත් නිහඞව මුල්ලකට වී සිටී. ප්‍රසංගය හා රැස්වීම රෑ 12 ට අවසන් කළත් වෙඩිල්ලක් නම් පත්තුවූයේ නැත. එහෙත් උණ්ඩයට බයේ මාස්ටර් වේදිකාවේ එහා මෙහා ගිය වේගවත් ස්වරූපය නම් කිසිදින අමතක නොවනු ඇත.

No comments:

Post a Comment