Saturday, July 9, 2016

මෛත්‍රීපාල ගෙන් විරුද්ධපාක්ෂික මන්ත්‍රී නිවසකට විදුලිය...

වත්මන් අගමැතිවරයාට ආරක්ෂක ලෙස ගමන් කරන්නට මෝටර් රථ දෙකක් සදහා කෝටි 54 ක් වෙන් කරන රටේ 1977 ට පෙර මන්ත්‍රීවරයෙකුට අළුතෙන් වාහනයක් අවශ්‍ය වේ නම් ‘ රජයේ සැපයුම් දෙපාර්තමේන්තුව ට ඇණවුම් කර බලා සිටිය යුතු විය. උසස් නිලධාරීන්ගේ පාවිච්චියට වෙන් කර තිබූ වාහනයක් ආපසු රජයේ සැපයුම් අංශයට බාර දුන හොත් එය ඉල්ලා සිටීමට මන්ත්‍රීවරයාට හැකිය. ඒ සදහා වරින් වර ලිපි ගණනාවක්ම එහි අධ්‍යක්ෂ වරයාට ලියමින් පිංසෙණ්ඩු වීමටද මන්ත්‍රීවරයාට සිදුවේ. එමෙන්ම මහජන මන්ත්‍රීවරයෙකුගේ වැටුප රු.1000 කි. ආනයනික චීත්ත යාරයක් 1.55 ක් වූ, සීනි රාත්තලක් ශත 72 ක්වූ, පාන් රාත්තලක් ශත 20 ක් වූ යුගයක රු.1000 ක වැටුප ලොකු ඉලක්කමකි. ඒ කාලයේ මන්ත්‍රීවරයෙකුට ලැබෙන විමධ්‍යගත අයවැය මුදලින් දිග අඩි 60 ක් හා පළල අඩි 20 ක් වූ පාසැල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට වෙන් කරන මුදල රුපියල් ලක්ෂයකි. අපූරු ගොඩනැගිල්ලක් තනා කොන්ත්‍රාත්කරු ලාබයක් ද ලබන්නේය.  මන්ත්‍රීවරයෙකුට නිදහස් දුම්රිය හා නිදහස් ලංගම ගමන් හැදුනුම්පත් දෙකක් ද ලැබේ. පුද්ගලික සහකාර වරයාට ද එවැනිම නිදහස් ගමන් බලපත්‍ර ලැබේ. යාල් දේවි ගමන් ගන්නා උතුරු දුම්රිය මගේ දෙපස ඉන්නා සියළුම මන්ත්‍රීවරු පාර්ලිමේන්තු යන්නේ දුම්රියෙනි. එහෙත් මහපාරේ යන එන ඇමතිවරු ද නොසිටියා නොවේ.

මැදවච්චිය නියෝජනය කළ මෛත්‍රීපාල සේනානායක විදුලිබල ඇමතිවරයා යාම් ඊම් කළේ කැකිරාව-තලාව-අනුරාධපුර පාරෙනි. 1974 පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඒ.ඇම්.ඇස්. අධිකාරි මහතාගේ ද නිවස පිහිටා තිබුනේ එම මාර්ගය අයිනේ හිරිපිටියාගම ය. එවකට රාත්‍රී වන විට මන්ත්‍රීවරයාගේ නිවස ආලෝක වී තිබුනේ ‘ පැට්‍රොමැක්ස්‘ ලාම්පු වලිනි. රාත්‍රී කාලයේ තම රථයෙන් අනුරාධපුරයට යන මෛත්‍රීපාල සේනානායක ඇමතිවරයා තම දිස්ත්‍රික් හිතවතාගේ නිවස මද අන්දකාරයේ තිබෙනු කිහිප දිනක් දැක ඇත. පාර්ලිමේන්තුවේ දී අධිකාරි මන්ත්‍රීවරයා දුටු මෛත්‍රීපාල ඇමතිවරයා “ අධි... කළුවරේ නේද රෑට ආසනේ මිනිස්සු එක්කලා කතා බහ කරන්නේ.. ගේ වයරින් කරගන්නවකෝ..“ යනුවෙන් කියා ඇත. මන්ත්‍රීවරයාගේ පිළිතුර වී තිබුනේ “ ගේ ඒ කාලෙ හදනකොටම වයරින් කලා.. ඉද හිට ලයිට් ඇන්ජිමක් හයි කරලා ලයිට් දා  ගන්නවා..“ යනුවෙනි. “ ආ... ඇත්තද.. “ කියමින් මෛත්‍රීපාල ඇමතිවරයා ඉවත්ව ගොස් ඇත.



සිද්ධිය වී දින කිහිපයකට පසු හිරිපිටියාගම නිවස ඉදිරිපිට නැවැත්වූ විදුලිබල මණ්ඩලයේ ලොරි කිහිපයකි. ඉන් බැස ආ නිලධාරියෙකු නිවසේ ප්‍රධාන සුවිචය සවිකර ඇති තැන පරීක්ෂා කර බලා එයට යාබද ව කණුවක් සවිකරන්නට උපදෙස් දෙමින් ඇරඹුයේ විදුලි කණු හා වයර සවි කරන්නටය. දින දෙකක් අවසන් වන විට මන්ත්‍රී නිවසේ බල්බ ප්‍රධාන විදුලියෙන් දැල්වෙන්නට පටන් ගති. මෛත්‍රීපාල ඇමතිවරයා උපදෙස් දී තිබුනේ අධිකාරි මන්ත්‍රීවරයාගේ ගෙදර ඉදන් ළගම පැත්තෙන් කණු කීයක් දමා හෝ හැකි ඉක්මණින් විදුලිය සපයා දෙන ලෙසටය. ඊළග දිනක මෛත්‍රීපාල ඇමතිවරයා හිරිපිටියාගම පසුකර යන විට විදුලි ආලෝකය මැද සෙනග වට කරගෙන මන්ත්‍රීවරයා කතා කරමින් සිටිනු දැක ඇත. ආසන්නතම පාර්ලිමේන්තු දිනයේ “ ආ අධි.. උඹ දැන් ලයිටි දාගෙනම අපිට විරුද්ධව රෑට රෑට සාකච්ඡා වගේ නේද..“ යැයි අසන විට සිනාසුනු අධිකාරි මන්ත්‍රීවරයා විදුලිය සැපයීම ගැන ඇමතිවරයාට ස්තුති කළේය. එකළ පක්ෂ හෝ විපක්ෂ මන්ත්‍රීවරයෙකුගේ නිවසක් අසලින් තවත් මන්ත්‍රීවරයෙකු ගමනක් යද්දී තේ එකක් බොන්නට හිතුනොත් ගොඩවන්නේ මන්ත්‍රීවරයාගේ නිවසටය. සිරිමාවෝ ගේ සමගි පෙරමුණ රජය සමයේ දිනක් ආණ්ඩුවේ ප්‍රබල මන්ත්‍රීවරයෙකු හිරිපිටියාගම “ අධිරාණි“ නිවසට ගොඩ විය. ඒ යන එන ගමන් තොරතුරු කතා කර තේ එකක් ද බොන්නටය. තම ආසනයේ හිතවතුන් සමග කතාකරමින් සිටි අධිකාරි මන්ත්‍රීවරයා අමුත්තාව හරසරින් පිළිගෙන ඉස්තෝප්පුවේ ම තමා අසළ අසුනින් වාඩි කරවා ගත්තේය. අධිකාරි මන්ත්‍රීවරයාට කොයි වේලාවෙත් බුලත් විට නැතුවම බැරි නිසා බුලත් වට්ටිය සාදා රැගෙන එන්නටම වෙනම කුඩා සේවක කොළුවෙකු සිටී. තේ එකක් සාදවන්නට තම බිරිදට පණිවුඩය යැවීම සදහා ගෙතුළ දෙස බලා අධිකාරි මහතා මහා හයියෙන් එම සේවක කොළුවාගේ නම කියා කෑ ගැසුවේය. සැනෙකින් “ මේ එනවා..“ යි ගෙතුළ දෙසින් පිළිතුරක් ලැබුනි. සෑහෙන වෙලාවක් ගතවුවද කොළුවා නොපැමිණියෙන් නැවත ගෙතුළ බලා තවත් හඩින් සිංහ ඝර්ජනාව නැගුනි. මොහොතින් කොළුවා බුලත් වට්ටිය ද රැගෙන ස්වාමියා වෙත දුව ආවේය. “ මොකද යකෝ පරක්කු වුනේ“ ප්‍රශ්නයකි. “ මහත්තයා කරුංකා කපාපුව ඉවරවෙලා.. මං කරුංකා කපාගෙනම ආවා..“ පිළිතුර ලැබුනි. “ කවුද මිහිහෝ බුලත් විට ඉල්ලුවෙ.. දුවපිය ගිහින් නෝනාට කියපිය ඉක්මණට තේ එකක් හදාගෙන එන්ට කියලා..“. කොළුවා ගෙතුළට නොපෙනී ගියේය. අධිකාරි මහතා ආගන්තුක මන්ත්‍රීවරයා දෙස බලා “ අනේ ඇත්තටම මේකා මහ ගොන්.. මෝඩ මීහරකෙක්.. මොළේ කළදක් නෑ නෙව..“ එසේ පවසන විටම අමුත්තා පැවසූවේ නොසිතූ වදනකි. “ ඇයි අධි.. මෝඩ මීහරකෙක් හන්දම ඉන්නවා මිසක් ..මොළේ තියෙන එකෙක් නං උඹ ගාව ඉදීවියැ..“. සැනෙකින් දෙදෙනාම තඩි බඩවල් දෙක සොලවමින් කොක් හඩදී සිනාසෙනු මුළු ගමටම ඇසුනි.

No comments:

Post a Comment