ඉංග්‍රීසි බස ඉහලින් හදාරා තිබූ නිසා ඔහුට ඇතැම් අවස්ථාවන්හි දී සිංහල වචන
පැටලී තිබුනි. එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරයන් ගේ නම කිසිම දිනක
ඔහු නිවැරදිව කීවේ නැත. ‘රෝහණ‘ යන්නට ‘රොහාන්‘ යන්න යොදන්නට ඔහු සැලකිළිමත් වූයේ,
ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක නායකයෙකු වුවද ඔහු තමාට නමවත් මතක නොහිටින පුද්ගලයෙකු
බව හගවන්නටය. ඇතැම් ප්‍රසිද්ධ රැස්වීම් වලදී ජවිපෙ ගැන කියන්නට ගොස් නායකයාගේ නම
අමතක බව බොරු නමක් වරද්දා කියමින් උදව් පතා වේදිකාවේ වාඩිවී සිටි අන් අයගේ පිහිට
පැතූ කදිම රගපෑමක් ඔහු ඇතැම් විට කරනු දැකිය හැකි විය. වේදිකාවේ කවුරුන් හෝ ලොක්කා
මතක් කරන්නේ රෝහණ විජේවීරගේ නම බව මතක් කර දුන්නද, එසැනින් අකුරක් දෙකක් වරද්දා එම
නම කියන්නට ඔහු මතකයේ තබාගෙන සිටියේය. “ රොහාන් විජේවීර මහත්මයා මට අභියෝග කොරනවා.
හැබැයි එතුමාට මතක් කරන්ට කැමතියි.. චන්දයෙන් පත්වුනු ආණ්ඩුවක්.. මුණ්ඩයෙන්
පෙරළන්න ඉඩ දෙන්නෙ නැති බව.. මං එතුමට අභියෝග කරනවා පුළුවන්නං ගෝල්ෆේස් එකට එන්න කියලා.. මාත් එක්ක අතින්
පයින් හටං කොරන්ට..“ යනුවෙන් ද ඔහු වරෙක පැවසීය. හැබැයි ජේආර් සැබවින්ම ඉතා දක්ෂ
මුෂ්ටි පොර කරුවකු බව එවකට විජේවීර ද දැන සිටියේ නැත.
ප්‍රථම විධායක ජනාධිපති ලෙස ගාළු මුවදොර දිව්රුම් දුන් උළෙල ඉතා රමණීය විය.
හිටපු ජනාධිපති විලියම් ගොපල්ලව මහතා රැගත් මෝටර් රථය ඈතට ඇදී යද්දී අගමැති
ජේ.ආර්. ජයවර්ධන පිටිය මැද ඉදිකර තිබූ කුඩා පීඨිකාව මතට නැග අගවිනිසුරු ඉදිරියේ
දිවුරුම කියවීය. සිංහලෙන් ලියා තිබූ සටහන කියවීමේ දී තරමක පැටලිල්ලක් වූ බව දන්නේ
දිවුරුම හරියටම අසා සිටි අය පමණි. “ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අවනත වන බවටත්..“ යන්න ඔහුට කියැවුනේ “ අවතන වන බවටත්..“
යනුවෙනි. න යන්නත්, ත යන්නත් මාරුවී තිබින. ඒ ඔහු ඉංග්‍රීසි බසින්ම ඉගෙන ගෙන
සිංහලෙන් කතා කළ දේශපාලන නායකයෙකු වූ බැවිනි. පසුකළෙක බොහෝ විඩියෝ පට වල එම කොටස
ඉවත් කර හෝ හඞ පටය වෙනස් කර හෝ තිබින. එහෙත් රජයේ චිත්‍රපට අංශයේ ඇති මුල් හඞ පටයේ
සිදුවූ වචන පැටලීම එලෙසම ඇත. ඉංග්‍රිසියෙන් ඔහු දැනගෙන සිටි බොහෝ දේ නිවැරදිව සිංහලට
හරවා කියන්නට හැකියාව තිබුනත් ඇතැම් තැනක එයට අදාල වචන නිවැරදිව ගලා ආවේ නැත.
1986 අප්‍රියෙල් 11 වනදා මහවැලියෙන් තැනුනු ගිරාදුරුකෝට්ටේ නව නගරය ජනතා
අයිතියට පවරා දෙන ඓතිහාසික උළෙල පැවැත්වින. මහවැලි නව ගම්මාන, නගර බිහිවුවද අපේ
ආදි වාසීන් තවමත් වෙනස් නොවී අප අතර ඉන්නා බව ජනපතිවරයාට කියන්නට ඕනෑවී තිබෙන්නට
ඇත. ඔහුගේ කතාවේ මැද අපූරු කතන්දරයක් ආරම්භ කළේය. “ අපේ ශිෂ්ඨාචාරය කොතරම් දියුණු
වුවත් අපේ පැරණි ඇතැම් දේ පරිනාමය නොවී තාමත් අප අතර තියෙනවා... ඒකට හොදම
උදාහරණයක් අපේ ගෙවල් වලම අපිට දකින්ට පුළුවන්.. අපි පරිනාමය වෙලා ටිකෙන් ටික
දියුණු සමාජයකට ආවත් ඔවුන් තාමත් පරිනාමය වෙලා නෑ... අවුරුදු ලක්ෂ කෝටි ගාණක්
ගියත් ඔවුන් පොඩ්ඩක් වත් වෙනස් වෙලා නෑ. තාමත් අවුරුදු කෝටි ගාණකට කලින් හිටපු
හැටියටම අපි අතර ඉන්නවා..“ ජනපති ජේආර් කතාව තත්පර කිහිපයකට නවතා දිවෙන් තම යටි
තොල තෙමා ගත්තේ වැදගත් දෙයක් කියන්නටය. දහස් ගණනක පිරිසක් අපේ ගෙදරම ඉන්නා මේ අරුම
පුදුම තැනැත්තා කවුදැයි දැනගන්නට නිහඞව, තුෂ්නිම්භූතව බලා සිටී. කතාව ඇරඹින. “
එතුමා තමයි කැරපොත්තා..“ යනුවෙන් කියද්දී වේදිකාවේ මැති ඇමතිවරු මෙන්ම අප සියල්ලෝම
හිනාව තද කර ගත්තේ ඔහුට අපහාසයක් නොවන්නටය. ඉංග්‍රීසියෙන් “ ඉට්“ යන්නට ඔහුට කටට ආ
හොදම වචනය “ එතුමා “ වීම කිසි දිනෙක අමතක නොවන සිදුවීමකි.

No comments:
Post a Comment