මහවැලිය
කඩිනම්න් අවසන් කිරීමේ අභියෝගය ගාමිණී දිසානායක ඇමතිවරයා තමන්ගේ මුළු කාලයම ඒ සදහා
කැප කර තිබෙනු දුටිමි. මාධ්‍ය ආයතන වලින්ද මෙම යෝධ වැඩ සටහන පිළිබද තොරතුරු ජනතාව
වෙත වාර්තා කරන්නට දැවැන්ත සහයෝගයක් ලබා දී තිබුනි. සෑම සතියකම මහවැලි ප්‍රදේශ
පුරා විවිධ ඉදිකිරීම් ප්‍රගතිය ඡායාරූප ගත කරමින් වාර්තා කිරීම අපට පවරා තිබුනි. මහවැලි
ප්‍රගතිය පිළිබද ලිපියක් හෝ පිංතූරයක් පුවත්පතකට ලැබුනු විට එය නොවරදවාම හැකි ඊළග
දින පළකරනු ලබයි. එය වැඩ සටහන පිළිබදව හා ගාමිණී ඇමතිවරයා පිළිබද මාධ්‍ය ප්‍රධානින්ගේ
තිබූ ඇල්ම හා ලෙන්ගතුකම ය.
පසු කළෙක
විවිධ මුද්‍රිත මාධ්‍ය ආයතන වල දැවැන්තයන් බවට පත්වූ බොහෝ මාධ්‍යවේදීහු එදා තම
ආයතන වෙනුවෙන් මහවැලිය ආවරණය කරන්නෝ වූහ. ධර්මරත්න විජේසුන්දර,
ඩබ්ලිව්.පී. ගුණරත්න, නන්දසේන
සූරියආරච්චි, උපාලි තෙන්නකෝන් , දයාසේන ජයලත්,
ඇල්බට් ජී. පුංචිහේවා, දුෂ්‍යන්ත
සමරසේන, රෝලන්ඩ් පෙරේරා , සරණපාල පමුණුව ඉන් කිහිප දෙනෙකි. ආනන්ද ධර්මප්‍රිය මහවැලි
අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අංශය බාරව සිටි අතර ඇමති පුද්ගලික ලේකම් පාලිත පැල්පොල
සියළු මාධ්‍ය කටයුතු මැනවින් සම්බන්ධීකරණය
කළේය. බොහෝ විට නිහාල් පී ජයතුංග හෝ මා, නොඑසේ නම් අප දෙදෙනාම අතින් මාධ්‍යවේදීන්ව
මහවැලි උත්සව වලට ගෙන යාමේ කාර්යය ඉටු විය. ඉබ්බන්වලින් උදෙන්ම පිටත් වන වෑන් රථය
පත්තර කන්තෝරුවෙන් කන්තෝරුවට හා ගෙවල් සොයා ගොස් මාධ්‍ය හිතවතුන් පිරිස එකතු කරගෙන
මාදුරුඔය බලා පිටත් වෙයි. කොළඹ පත්තර කාර්යාලයේ මේසයටත්, කෑකොස්සන් ගසන කන්තෝරු
පරිසරයටත් මැදිව සිටින මාධ්‍ය හිතවතුනට මහවැලි ක්ෂෙත්‍ර චාරිකාවක් ලැබීම මහත්
සැනසිල්ලකි. විනෝදයකි. සහෝදර පත්තර කන්තොරු වල සගයන් ද සමග අල්ලාප සල්ලාපයේ
යෙදෙමින් , එකිනෙකාගේ පැරණි උපහාසාත්මක රස කතා කියා ගනිමින් ඩෙලිකා වෑන් එකක යන ඒ
ගමන එකම රස ගුලාවකි.
කිසිදිනක තම කැමරාව ෆෝකස් කර පිංතූරයක් ගන්නට බැරි පුවත්පත්
ආයතනයක ඉතා ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියෙකු ගැන රසකතාවක් මතුවූයේද එවන් ගමනකිනි.
දිනක් ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ හදිසි අභාවයක් වාර්තා කරන්නට ඔහුව යවා ඇත. අද මෙන්
ඩිජිටල් කැමරා එදා නොතිබුනෙන් ආපසු ආයතනයට පැමිණි සැනින් ඡායාරූප අංශයේ කළුවර
කාමරයෙන් “ රෝල ඩිවෙලොප් “ කර කර්තෘ වරයාට ගෙන ගියද එකදු පිංතූරයක් වත් පසුදා
පුවත්පතට ගැනීමට බැරි තරමටම සියළු පිංතූර සෙළවී තිබින. “ මොකද මේ සේරම පිංතූර හෙල්ලිලානෙ..“
කියා ඔහුට සත්තමක් දැමූ විට ඔහු කියා ඇත්තේ “ සර්. මළ ගෙදර සේරෝම අය අඞනකොට
හෙල්ලෙනවනෙ..“ යනුවෙනි. “ ඇයි මනුස්සයෝ මළ ගෙදරක හෙල්ලෙන්නෙ නැත්තෙ මළමිනිය
විතරයිනෙ ඕයි. “ යනුවෙන් පිළිතුරු දුන් කතුවරයා වැඩේ කරගෙන ඒමට වෙනත් ඡායාරූප
ශිල්පියෙක් යවා ඇත.
මහවැලි
චාරිකාවක දී පෑලියගොඩ පාලම පසුකර නුවර පාරේ මද දුරක් ගිය සැනින් පිරිසට තැඹිලි ඕනෑ
වෙයි. අතරමග දී පානය කරන තැඹිලි වර්ග දෙකකි. පිපාසයට බොන තැඹිලි හා තැඹිලි අරන්
දුන්නා යැයි සිගරට් පෙට්ටි ඊයම් කොලයක වම් අතින් ලියා බිලක් සකස් කර ගන්නා තැඹිලි
එම දෙවර්ගයයි. සිගරට් ඊයම් කොල තැඹිලි මිළදී ගන්නා ප්‍රමාණය අනුව ඇදිරි වැටෙන
වෙලාවේ මාදුරුඔය නවාතැන ට ළගාවූවාට පසුව වෑන් රථයෙන් බැසීමේ හැකියාව මාධ්‍ය
සගයන්ගෙන් එකිනෙකාට වෙනස් වෙයි. සෑම ගමනකදීම රාත්‍රී වෑන් රථයෙන් බැස ගැනීමට ද
නොහැකි තත්වයට පත්වන මාධ්‍ය මිතුරන් අයෙකු දෙන්නෙකු ඇත. ඔවුහු රාත්‍රී කෑම ද නොකා
ඇදන් සොයා යති. බොහෝ විට කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් සංග්‍රහ කටයුතු සදහා ගත්
අත්තිකාරම් මුදල පියවන්නට ගිණුම් අංශයට බිල්පත් ඉදිරිපත් කළ විට “ පුදුම තැඹිළි
තොගයක්නේ බීලා තියෙන්නේ.. “ යැයි ගිනුම් අංශ නිලධාරියා පවසන්නේ කට කොණකින් කපටි
බැල්මක් හෙලමිනි. ඇතැම් විට ඔහු ද ක්ෂෙත්‍ර චාරිකාවක් ගිය විට “ අමුතු තැඹිළි “
බොන අයෙකු විය යුතුය.
ගාමිණී
ඇමතිතුමා තරම් මාධ්‍ය වේදීනට ආදරය කළ හා හිතවත්ව ඇසුරු කළ ඇමතිවරයෙකු දැක නැති
තරම්ය. ඔහු බොහෝ විට රාත්‍රී ආහාරය නොගෙන “ මීඩියා ටීම් “ එක එනකල් නොනිදා සිටී.
මා දුටු පමණින් “කුමා“ කියා මා අමතයි. “ කොහොමද මීඩියා කට්ටියට රූම්ස් හරිද.. අඩුපාඩු
තිබුනොත් මහතුන් ට කියන්න“ . මහතුන් ඔහුගේ පුද්ගලික ආරක්ෂකයායි. එතෙකින් නොනැවතී
ඔහුගේ සුන්දර සිනහව කටේ එක් පැත්තකින් පාමින් “ කොහොමද යාළුවන්ට තැඹිලි එහෙම...“
කියා අසයි. “ ඒවා හරි සර්... පුංචා නිදි..“ කීවිට මහ හයියෙන් සිනාසෙන ඔහු “
කට්ටියට එන්න කියන්න ඩිනර් වලට “ කියා සද්දන්ත කෑම මේසය පෙන්වයි. ඔහු කන්නේ ද මාධ්‍ය
හිතවතුන් සමගය. මාධ්‍ය හිතවතුන්ට තම තමන්ගේ පුද්ගලික ඉල්ලීම් ඇමතිවරයා වෙත
ඉදිරිපත් කරන්නට එය කදිම අවස්ථාවක් සළසා දුනි. ඇතැමෙකුගේ දරුවන්, ඥාතීන් මහවැලියේ
රැකියා ලබාගත් අතර තවත් මාධ්‍ය හිතවතුන් පිරිසකට එච් කලාපය පැත්තෙන් මහවැලි ඉඩම්
ලැබුනේ ද මේ ඇමති සුහද හමුවීම් නිසාය.
No comments:
Post a Comment