Wednesday, June 15, 2016

මහවැලි මහ සෑයට මුල්ගල් තැබූ දා ධර්මෙට අධර්මය....

කොත්මලේ මිටියාවතේ සහ අනිකුත් මහවැලි ජලාශවල දියෙන් යටවී ගිය බොදු විහාරස්ථාන සියල්ල වෙනුවෙන්  මහවැලි මහ සෑය ඉදිකරන්නට මුල් ගල් තැබූ 1983 මාර්තු  දින මාධ්‍ය සගයන්ට වැඩ අධික දවසකි. මහ කන්දක් මුදුනේ මුල්ගල් තබන තැනට මාධ්‍ය කණ්ඩායම පැමිණෙන විට තරමක් ප්‍රමාද වී තිබුනු අතර, ජනාධිපති ජේ ආර් ඇතුළු මැති ඇමතිවරුන් පැමිණියා පමණි. සියළු සෙනග අතරින් ඉහලට දිව යන කිහිපදෙනා පොලිස් නිලධාරින් විසින් නවතනු ලැබීය. පොලිසිය නොව මුළු හමුදාවක් බැරියර් දැම්මත් තමන් හෙට පත්තරේට අනිවාර්යයෙන් වාර්තා කළ යුතු උළෙලක් නිසා පොලිස් නිලධාරින් තල්ලු කරමින් කන්ද නගින්නට උත්සාහ කරන්නට මාධ්‍ය හිතවතුන්ට සිදුවිය. දිවයින පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ ධර්මරත්න විජේසුන්දරයන්ගේ ගමනට හරස් කළේ ගම්පොල පොලිසියේ උප පොලිස් පරීක්ෂක වරයෙකුය. ධර්මේ ඔහුත් සමග ටිකක් පැටලී ඔහුව පපුවෙන් තල්ලු කර දමා බලෙන්ම කන්ද නගින්නට උත්සාහ කළේය. වැරදුනේ එතැනය. ධර්මේ එස්අයි ව තල්ලුකරද්දී එස් අයි බිම ඇද වැටුනේ ධර්මේගේ අතට හසුවූ එස්අයි ගේ පපුව හරහා තිබෙන කළුපැහැ පටිය ධර්මේ අතට කැඩී යන පරිද්දෙනි.   පොලිස් පපු හරස් පටියක් සිවිල් වැසියෙකු විසින් කඩා ගැනීම බරපතල වරදකි. ඇතැම් විට එවැන්නකට ලැබෙන දඞුවම ශරීර තුවාල හා අතපය හන්දි වෙදුන් සොයා යාම දක්වා දික් වනු ඇත. ධර්මේ කර පටියද අතේ ගුලි කරගෙන කන්ද නැග තම පුවත්පත වෙනුවෙන් වාර්තාව ලීවද, ආපසු පහලට බැසීමේ අවදානම නිසා බෙහෙවින් තැති ගෙන සිටියේය. පපු හරස් පටිය හෝ වෙනත් නිල ඇදුමේ කොටසක් අහිමි වීම පොලිස් නිලධාරියෙකුට බලවත් අපහාසයක් බව කවුදෝ කියනු ඇසින.

මා සියළු දෙනා පසුකර වේගයෙන් වේදිකාව අසලට යන විටම පන්සිල් දීමේ කටයුතු ආරම්භ කරන්නට ඔන්න මෙන්නය. ගුවන් විදුලියේ සිරිල් රාජපක්ෂ තාමත් කන්ද නගින්නේය. මා දුටු සැනින් ගුවන්විදුලි බාහිර ප්‍රචාර අංශය බාරව සිටි සරත් විමලවීරයන් “ ගනින්.. ගනින්.. මයික් එක ගනින් “ කියනවා ඇසුනි. අවස්ථාව අනුව “ නමෝතස්ස භගවතෝ අරහතෝ..“ කියමින් නමස්කාරය කීවෙම්. මොහොතකින් ඇදුම හැදුනා සේ හති හලාගෙන සිරිල් අයියා මතුවිය. එවිට “ පානාතිපාතා..“ පටන් ගත්තා පමණි. “ උඹ දිගටම පන්සිල් ගනින්..“ කියන්නාක් මෙන් හති හලමින් සිරිල් අයියා අතින් සංඥා කළේය. පන්සිල් ගෙන අවසන් වනවාත් සමග සිරිල් අයියා මා අතින් මයික්‍රෆෝනය ගෙන ඉතා චතුර ලෙස විස්තර කථනය පටනි ගති. අද වන තුරු මහවැලි මහ සෑ මුල්ගල් තබන උත්සවයේ ආරම්භය ගුවන්විදුලි සජීව විකාශයේ කථනයෙන් කළේ මා බව කිසිවෙකු  නොදනී.


උත්සවය පැවැත්වෙන අතර වෙනත් පොලිස් නිලධාරින් පිරිසක් පැමිණ සුහදව කාරණාව කතා කොට කර පටිය ආපසු රැගෙන ගොස් තිබුන නිසා ධර්මේ ගේත්, අනෙකුත් මාධ්‍ය හිතවතුන්ගේත් බිය, සැක, සංකා තරමක් පහවී තිබුනි. උත්සවය අවසානයේ උත්සව භූමිය ටිකෙන් ටික හිස් වනවාත් සමග ඈත පාමුල පොලිස් නිලධාරීන් රොද බදිනු ආනන්ද ධර්මප්‍රිය ගේ අවධානයට යොමු වූ අතර එතෙක් වේදිකාවේ පසෙක රැදී සිටි මාධ්‍ය සගයන් අමතා “ හැමෝම එකට යන්න ඕනෙ.. ධර්මෙ තනියම යන්න එපා..“ යයි අවවාද කර සියළු දෙනා එක්ම පහල බසින්නට විය. යන්නට ඇත්තේ එකම පාරකි. එය ඉහත්තාවේ පොලිස් නිලධාරින් 30 ක් පමණ රොක් වී සිටී. එය දැක දැකම අපට පහලට යන්නට වී තිබේ. ධර්මේ සෙමෙන් අප කණ්ඩායමේ මැදට වී සැගවෙන්නට අසාර්ථක උත්සාහයක් දරනු පෙනේ. කිසිවෙකුගේ මුහුණු වල සිනහවක් හෝ නැත. සියල්ලන්ගේම හුස්ම වැටෙනා හඞ හැර වෙනත් හඞක් ද නොනැගේ. මහා ව්‍යසනයක පෙර නිමිති පෙන්වමින් පොලිස් නිලධාරීන් පිරිස නළියනවාත්, මුනු මුනු හඞින් මොනවා හෝ සැළසුම් කර ගන්නවාත් පෙනේ. කිසිදු විකල්පයක් නොමැතිව අපි සැළසුම් ගත ප්‍රහාරයකට සූදානම් බලඇණියක් වෙත සෙමෙන් සෙමෙන් ළගාවීමු. 

ක්ෂණික විහිදුම් බලකායක් සේ එක්වරම අප කණ්ඩායම වෙත පිනූ පොලිස් බලඇණිය අප සියල්ලන්වම එහා මෙහා කරමින් අපූරුවට ධර්මේ ව සොයාගත්තේ අප සියළු දෙනා පුදුමයට පත් කරමිනි. අත්දැකීම් අඩු , තරුණයෙකු වූ මම “ ආනන්ද.. අනේ..මේ..මේ..“ යයි කෑගැසුවද, මා දෙස මදක් රවා බැලූ ආනන්ද  පාඩුවේ හිටපං යන අරුත ඇස් වලින් පෙන්වීය. අනෙක් පිරිස ආනන්ද දෙස බැලුවද , ඔහු ඇස් වලින් කීවේ “ පාඩුවේ යං.. “ වැනි අරුතකි. තත්පර 10 ක් ගතවන්නට පෙර සතෙකු ඇදගෙන යනවා සේ පොලිසියට මැදිව ඇදී ගිය ධර්මරත්න විජේසුන්දර සහෘදයා පොලිස් ජීප් රථයකට තල්ලු කර දමා, එයට 12 ක පමණ පොලිසියේ පිරිසක් ද නැග අසුරු සැනෙන් නොපෙනී ගියේ අප සැවොම පුදුමයට පත් කරවමිනි. ඉක්මණින්ම ඇමතිවරයා දැනුවත් කිරීම නිසා අත් පා හන්දි ටික බේරාගෙන පසුදා ධර්මේ ව ගම්පොල පොලිසියෙන් මුදා ගන්නට හැකි විය. එහෙත් ජීප් එකට ඇද දමාගත් ධර්මේව සීට් දෙක අතර නිදි කරවා සෙසු පිරිස ඒ මත කකුල් තබාගෙන පොලිසියට ගිය බවත්, ඒ යන අතර කිහිපදෙනෙකුම “ වම..දකුණ..වම..දකුණ..“ කල්බැලූ බවත් ධර්මේ පසුව පැවසීය.

No comments:

Post a Comment