Wednesday, June 15, 2016

සූරියප්පෙරුම, රුක්මන්, නියතපාල තිදෙනාට එජාපය අහිමි කළ කලාවැව අතුරු මැතිවරණය

1970 වසරේ සිරිමාවෝ මැතිණිය වසර 5 කට ලබාගත් ආණ්ඩු බලය 1977 දන්වා දික් වූයේ 72 ව්‍යවස්ථාවට පිංසිදු වන්නටය. එහෙත් බලය උපරිමව යොදා ගනිමින් මාධ්‍යය පවා මර්ධනය කරමින් අපරාජිතව රට පාලනය කළ මැතිණියට 1974 වසර අතිශය තීරණාත්මක වූයේ කලාවැව ආසනයේ අතුරු මැතිවරණය හේතුවෙනි.  ඒ වන විට වසර 18 ක් තිස්සේ  කලාවැව ආසනය නියෝජනය කරන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ  ආර්.බී. රත්නමලල නම් මන්ත්‍රීවරයාය. ඔහුව පැරදවීම යූඇන්පි යට ලෙහෙසි කරුණක් වී තිබුනේ නැත. වරෙක රිචඩ් අළුවිහාරේ වැනි දැවැන්තයෙකු පවා රත්නමලල යන්ට එරෙහිව යෙදෙව්වත් කලාවැව එජාප යට ජය ගැනීමට නොහැකි විය. රත්නමලල මන්ත්‍රීවරයාගේ අභාවයෙන් පැවැති කලාවැව අතුරු මැතිවරණය එජාප යෙන් තරග නොකොට අතහරින්නට තීරණය වී තිබූ බව අද එජාප යේම බොහෝ දෙනෙකු නොදන්නවා ඇත. කලාවැව ආසනය සදහා සිරිමාවෝ රජය අනුර බණ්ඩාරනායක මහතාව නම් කළ හොත් එජාප යෙන් අපේක්ෂකයෙකු නොදමන්නට ජේආර්-සිරිමා අතර රහස් එකගතාවයක් ඇතිකරගෙන තිබුනි. එය ජේආර් විසින් නොනිල ලෙස පක්ෂයට දන්වා තිබුනි.

එහෙත් මෙවර තමාට කලාවැව දිනන්නට හැකි බවට එජාප සංවිධායක අධිකාරි ට තිබූ දැඩි විශ්වාසයත්, තමාට නාමයෝජනා නොදෙන්නේ නම් වෝඩ් පෙදෙසේ නිවස ඉදිරිපිට දිවිනසාගන්නා බවට කළ තර්ජනයත් ඉදිරියේ ජේආර් ට පියවරක් පස්සට ගැනීමට සිදුවිය. සිරිමාවෝ සමග රහස් ගිවිසුම් ගසා අනුර බණ්ඩාරනායකට කලාවැව අතුරු මැතිවරණයෙන් නිතරගයෙන් පාර්ලිමේන්තුවට එන්නට පාර කපමින් සිටි ජේආර් , මොහොතනට අධිකාරි ඉදිරියේ අසරණ වූයේ අධිකාරි ඩඩ්ලි විසින් පත්කළ යූඇන්පී කාරයෙකු වීම නිසාය. කිසිවකුටත් දැනගැනීමට ඉඩ නොතබා නාමයෝජනා සදහා අනුමැතිය ලබාදෙන ලිපියට අධිකාරි බලෙන්ම වාගේ ජේආර්ගේ අත්සන ලබාගත්තේ එක්තරා දිනෙක මධ්‍යම රාත්‍රියත් පසුවූ රැයෙක දීය. පසුදා  ඔවුන් රැගත් ජීප් රථය හිරිපිටියාගම නිවසට පැමිණෙන විට ඉර පායා තිබින. උදෙන්ම අනුරාධපුර කච්චේරියට ගිය අධිකාරි  කිසිවෙකුටවත් නොකියා ඇප මුදල් තැන්පත් කොට මහ සටනේ මුල පිරීය.
පසුදිනක එප්පාවල කටියාව පාරේ තනා තිබූ ලෑලි ගැසූ තාවකාලික සිනමා ශාලාවේ පැවැති මධ්‍යම බල මණ්ඩල රැස්වීමට කොළඹින් පැමිණි විශේෂ කථිකයන් තිදෙනෙකි. ජේ.ආර්.පී. සූරියප්පෙරුම, ජිනදාස නියතපාල හා රුක්මන් සේනානායක එම තිදෙනාය. ඒ වන විට යූඇන්පී නායකයන් දැනුවත් වී තිබුනේ ජේආර් අනුරට කලාවැව ලියාදෙන්නට ඔප්පුව සූදානම් කොට තිබූ බවකි. එහෙයින් ජේආර් ට එරෙහිව එජාප යේ බලය ඇල්ලීමේ මහා කුමන්ත්‍රණයක් දියත් වී තිබින. කුමන්ත්‍රණයේ ප්‍රතිපලය වන්නේ රුක්මන් නායකයා කිරීමයි. එහි පළමු වෙඩි හඞ මතු කරමින් නියතපාල හා සූරියප්පෙරුම දෙදෙනාම රුක්මන්ව අසළින් තබාගෙන වේදිකාව දෙවනත් වන්නට කලාවැව යූඇන්පී කාරයන් ඇමතුවේ  “ මඩේ හිටවපු ඉන්න වගේ නැමෙන නායකත්වයක් නෙවෙයි යූඑන්පියට ඕනෙ මෙන්න මේ රුක්මන් වගේ කෙළින් ඉන්න මනුස්සයෙක්“ යැයි කියමිනි. ඔවුන් දෙදෙනා පක්ෂ නායකත්වය දැඩි ලෙස විවේචනය කළේ කලාවැව අධිකාරිට නොලැබෙන බව සිත්හි දරාගෙනය. 

එහෙත් මොහොතකින් නැගිට සිටි අධිකාරි මයික්‍රෆෝනය වෙත ගොස් “ කවුරුත් නෙවේ කලාවැව ඉල්ලන්නෙත් මමයි.. දිනන්නෙත් මමයි... කලාවැව යූඇන්පී අපේක්ෂකයා විදියට ඇප සල්ලිත් බැදලයි මං ඇවිත් ඉන්නේ..“ කියමින් මුදල් බැදි රිසිට් පත සාක්කුවෙන් ඇද පෙන්වූයේ සූරියප්පෙරුම , නියතපාල දෙදෙනා නිරුත්තර කරමිනි. කලාවැව එජාපාක්ෂිකයනගේ ශාලාව දෙදරවන ජයඝෝෂාවක් නැගුනි. රුක්මන් කරකියාගත දෙයක් නොමැතිව වටපිට බලනු පෙනින. දිවා ආහාරයටවත් නොසිට තිදෙනා කොළඹ බලා පිටත්වූහ. අධිකාරි සාර්ථකව කලාවැව අතුරු මැතිවරණයට මුහුණ දුනි. කුමණ්ත්‍රණය හෙළිවීමෙන්  කොළඹ යූඇන්පිය තුළ සංශෝධන කීපයක්ම සිදුවිය. ටික දවසකින් සූරියප්පෙරුම, නියතපාල හා රුක්මන් තිදෙනාට එජාප ය අහිමි වද්දී ,  අධිකාරි වසර 18 කට පසුව කලාවැව එජාප යට හිමි කර දුන්නේය. 

No comments:

Post a Comment