Wednesday, June 15, 2016

ජේආර් ගේ ඉල්ලීමට ජෝතිපාල ‘මෝරා‘ ගීතය ගයයි.


ශ්‍රී ලංකා දේශපාලනයේ ජේආර් සළකුණ ලෙසින් නම් කොට වෙන ඉතිහාසයක් ලිවිය හැකිව තිබේ. හිටපු ජනපති ජේආර් ජයවර්ධනයන්ගේ පාලන කාලය එතරම්ම ඓතිහාසිකය. එය දක්ෂකම්, කපටිකම්, ශූරකම්, මෝඩකම් මෙන්ම රසවත් සිදුවීම් රැසකින් ද පිරී ඉතිරී ගොස් තිබුනි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව මිත්‍ර හමුදා මෙහෙයවූ රටවල් විසින් ජපානය කොන් කර දමා තනිකිරීමේ පළිගැනීමකට සූදානම් වූ මොහොතේ , එම සැන් ප්‍රැන්සිස්කෝ සමුළුව අමතා බුදුන් දෙසූ ධම්මපද ගාථාවක් වූ “ නහි වේරේන වේරානි..“ ගාථාව කියමින් ජපානය කොන් නොකරවන්නට පෙරමුණ ගත්තේ ජේආර් ය. පසුකළෙක ජේආර් ගේ ජපාන චාරිකාවක දී ජපන් රජය ජේආර් කළ මෙහෙය අගය කරමින් තිළිණයක් දෙන්නට තීරණය කළාය. “ අපට කිසිදින අමතක කරන්න බෑ ඔබතුමා කළ මෙහෙය.. ඒ හින්දා අපි ඔබතුමාගේ රටට අංග සම්පූර්ණ රෝහලක් තිළිණ කරන්නට සූදානම් වනවා.. ඇන් කීයක වගේ රෝහලකටද ඔබතුමා කැමති. “ ජපාන අගමැතිවරයා ඇසූ පැනයට ජේආර් ගේ පිළිතුර ද පැණයකි. “ ඔබතුමාලා මෙච්චර කාලයක් පරිත්‍යාග කොරලා තියෙන ලොකුම රෝහලට ඇන් කීයක් තිබුනද..“ ජේආර් ගේ එම පැණයට පිළිතුරු දෙමින් ජපාන අගමැතිවරයා පැවසූවේ..“ ඇන් 1000 ක් මැති තුමණි “ යනුවෙනි. “ හ්ම්... එහෙනං අපිට ඇන් එක්දාස් එකක් තියෙන රෝහලක් දෙන්න..“ යනුවෙන් ජේආර් පැවසූ පිළිතුරෙන් ජපාන අගමැතිවරයා තිගැස්සී ගියේය. “  ඒක අපට සතුටක්.. ඒත් ශ්‍රී ලංකා ජනාධිපතිතුමනි.. ඔය එක්දහස් එක් වෙනි ඇ මොකටද..“  කට පැත්තට ඇද කොට නගන කපටි හිනාව මුහුණට නගාගත් ජේආර්.. “ ඒක මට..“ කියමින් කතාව නිම කළේ නියෝජිත කණ්ඩායම ද පුදුමයට පත්කරවමිනි. ජේආර් ගේ ජනපති පාලන කාලය පුරාවටම ජයවර්ධනපුර රෝහලේ 1001 වෙනි ඇ ජේආර් වෙනුවෙන් පැය 24 ම වෙන් කර තිබුනි. එහෙත් විශ්‍රාමිකව මියයන තුරුම ජේආර් එය පාවිච්චි කර නැත.

ජේආර් කලාවට මෙන්ම කලාකාරයනට ද මහත් ඇල්මක් දැක්වූවෙකි. ජේආර් ගුවන්විදුලි නාට්‍ය රචකයෙකු මෙන්ම ගුවන්විදුලි නාට්‍ය හඞ කවන්නෙකු ලෙසද කටයුතු කර ඇති බව දන්නේ සුළු පිරිසකි. ශ්‍රී ලංකා ගුවන්විදුලි ඉතිහාසයේ මුල්ම යුගයේ දී ජේ ආර් ජයවර්ධනයන් විසින් රචනා කරන ලද “ සමාජ සේවකයා “ නමැති ගුවන් විදුලි නාට්‍යය 1939 මාර්තු මස 29 වනදා සජීවී ලෙසින් ප්‍රචාරය වී ඇත. එය ජේආර් රචනා කළා පමණක් නොව ඔහු හා එලීනා ජයවර්ධනයන්( ජේආර් බිරි) ද එම නාට්‍යයට කටහඞ ද ලබාදී ඇත.

ජේආර්ගේ පාලන කාලය තුළ එජාප මැයි රැළි පැවැත්වූයේ ගාළු මුවදොර පිටියේ ය. එහි මැයි දිනය වෙනුවෙන් අපූරු සංගීත සංදර්ශනයක් පැවැත්වේ. එහි ජෝතිපාල ට ඇත්තේ ප්රමුඛ තැනකි. ජේආර් ජෝතිපාලටත්, ජෝතිපාල ජේආර් ටත් දැක්වූයේ අපරිමිත ලෙන්ගතු කමකි. එක් වසරක ජේආර් ද මැයි දින ප්‍රසංගය නරඹමින් සිටියදී එක්වරම ජෝතිව සිහිපත් විය. සැනෙකින් හඩ්සන් සමරසිංහයන් ට පණිවුඩයක් යැවුනි. “ ඒයි.. අන්න ලොක්කා කතා කරනවා..“ හඩ්සන් අඩියට දෙකට ජේආර් ළගය. “ ඇයි සර්..“ “ කෝ.. ජෝතිපාල ළමයා සිංදු කිවුවෙ නෑ නේද..“. ජෝති ඒ වන විටත් ගී ගයා තිබුනේ නැත. එය ජේආර්ට මතකය. “ හඩ්සන් ඒ ළමයගෙමෝරාසිංදුව.. කියන්නෙයි කියන්න. “ මොකද්ද සර්..“ “ අර මෝරා.. මෝරා.. මෝරා සිංදුව.. මෝරා සිංදුව..“  හඩ්සන් මොන ආකාරයෙන්වත්මෝරාකියා සිංදුවක් මතක් වන්නේ ම නැත. ඒත් තමාට එවැන්නක් මතක නැතැයි කියා පල් වෙනවාට වඩාමෝරාසිංදුව හොයාගන්න එක වටින බව තේරුං ගත් හඩ්සන් සැණෙන් ජෝති සොයා ගියේය. ඒයි මචං ජෝතිඅන්න බං ලොක්කා කියනවා.. උඹට මෝරා සිංදුව කියන්න කියලා.. ජෝතිට ද මල පැන්නේය. “ මොන මෝරෙක් ද බං .. මං එහෙම සිංදුවක් කියලා නෑනෙ.. දැන් සියල්ලෝම වටවී ජෝතිගේ මෝරා සිංදුව මතක් කරන්නට උත්සාහ කළ ද මොන මෝරෙක්වත් කාටවත් මතක් වන්නේ නැත. දැන් ඊළගට ගී ගයන්නේ ජෝති ය. ඔළුව අවුල් වූ ජෝතිගේ මුවින් කාලේ , බාගේ ප්රමාණයේ කුණුහරුප දෙක තුනක් ද ගලා ආවත් මෝරා යනුවෙන් ගීයක් නම් මතකයට ගලා ආවේ නැත.

සැනෙකින් එකෙකු අපූරු කතාවක් කීවේය. “ ඒයි ජෝති .. ලොක්ක ඔය ඔලුවෙ තියාගෙන ඉන්නෙ.. ‘ සිරියාවෙ සාරා.. නැගේවි හද මෝරා..‘ ද දන්නෙ නෑ. “ අම්මට සිරි.. හරිනෙ..“ කියා ජෝතිගෙ මුවින් නික්මෙද්දීම ජෝතිගේ නම නිවේදක කියනවා ඇසුනි.. වේදිකාවට ගිය ජෝති තමා ගැයූ ගීත කිහිපයටසිරියාමෙ සාරා..“ ගීතය ද එකතු කළේය. ගී ගයා අවසන්ව ජෝති කෙළින්ම ගියේ ජේආර් සිටි අසුනයට. මහත් සතුටින් ජෝතිගේ පිටට තට්ටුවක් දැමූ ජේආර්…“ ඔය ළමයා ඒ සිංදුව හොඳට කිවුවා..“ යැයි කීය. නැවත වේදිකාව පසුපසට ගිය ජෝති, හඩ්සන් වෙතට ගොස්අතක් පයක් නොකැඩි ඔයින් ගියා මදැයි.. උන්දගෙ මෝරා..“ කියමින් තවත් මොනාදෝ සුටු සුටු ගාමින් මුදල් කවරයද ගෙන පිටවී යනු දක්නට ලැබුනි.

No comments:

Post a Comment