Wednesday, June 15, 2016

එළියට ආවොත් බයියගෙ හැටි පෙන්නනවා... මන්ත්‍රී ඒ චන්ඩිකම් මෙහෙ බෑ.. මේක පාර්ලිමේන්තුව ... කතානායක

1974 දී මුල් වරට පාර්ලිමේන්තුවට ගිය කලාවැව අධිකාරි මන්ත්‍රීවරයා ට සමගි පෙරමුණු ආණ්ඩුවේ මන්ත්‍රීවරු සැළකුවේ තරමක් හෑල්ලුවටය. රජරට නියෝජනය කිරීමත්, නවකයෙකු වීමත් මෙම හෑල්ලු කිරීමට හොද පසුබිමක් තනා දුන්නේය. එහෙත් කලාවැවටත්, යූඇන්පියටත් අධිකාරි නවකයෙකු නොවීය. හිටපු මන්ත්‍රීවරයා ශ්‍රීලංකා කාරයෙකු වුවද කලාවැව හොල්ලාගෙන සිටියේ අධිකාරි ය. එකළ රජරටත් වයඹත් නියෝජනයට හිටියේ එකම යූඇන්පී මන්ත්‍රීවරයෙකි. ඒ හිරියාල එස්.බී. හේරත් මහතාය. එහෙත් මාවතගම ප්‍රේමචන්ද්‍ර ලා, යාපහුවේ අබේරත්නලා, කටුගම්පොල ජයවික්‍රම පෙරේරලා, පොල්ගහවෙල සුනිල් රංජන් ජයකොඩිලා, කැකිරාව මහින්දසෝමලා, කලාවැව අධිකාරිලා, අනුරාධපුර චන්ද්‍රා බණ්ඩාරලා තම පළාත් හොල්ලාගෙන සිටියේ බල පරාක්‍රමයෙනි. එබැවින් අධිකාරි නවක මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුව ද මහ ලොකු තැනත් නොවීය. සමගි පෙරමුණේ ජ්‍යේෂ්ඨයෝ අධිකාරි ට කළ කෙනෙහිලි කම් අඩු වී තිබුනේ නැත. 

දිනක් පාර්ලිමේන්තුවේ අධිකාරි මන්ත්‍රීවරයා කතා කරමින් සිටිනා විට කෙළවරක් නැතුව බාධා එල්ල විය. වරක් දෙවරක් අධිකාරි මන්ත්‍රීවරයා තම කතාව නැවැත්වූයේ හිතට නැගුනු කේන්තිය නිසාමය. කතානායක අසුනේ සිටි ස්ටැන්ලි තිලකරත්න කතානායක වරයා “ මන්ත්‍රීතුමා මා දිහා බලාගෙන දිගටම කතා කරන්න..“ යනුවෙන් උපදෙස් දුන්නත් ඔහුට දැන් දැනෙනුයේ ඉවසීම සීමාව ඉක්මවා යාමට ආසන්න බවකි. හදිසියේම ආණ්ඩු පක්ෂයේ ඝෝෂාව අතරින් “ බයියා “ යන වචනයද ඇසුනි. රතුඉර පැන්නේය. අසුනේ සිට ඉදිරියට පැමිණි අධිකාරි මන්ත්‍රීවරයා “ එක්කෙනා එක්කෙනා එළියට ආවොත් බයියගෙ හැටි බලාගන්න පුළුවන්....“ යැයි මහා හඞින් කෑ ගැසීය. එය සැබැවින්ම සිංහ ඝර්ජනාවක්ම විය. අනපේක්ෂිත අභියෝගයෙන් කිපුනු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුද කලබල කරන්නට පටන් ගන්නවාත් සමගම කතානායක ස්ටැන්ලි තිලකරත්න මහතා විසින් මද වේලාවකට පාර්ලිමේන්තුව කල් තබන ලදී.

විනාඩි කිහිපයකින් අධිකාරි මන්ත්‍රීවරයා කතානායක කාමරයට කැදවන ලදී. ඔහු එහි යන විට විදුලිබල ඇමති මෛත්‍රීපාල සේනානායක මහතාද කතානායකවරයා සමග විය. මෛත්‍රීපාල ඇමතිවරයා සිනාසෙමින් “ කොහොමද අධි..“ කියා අසනවාත් සමගම අධිකාරි මන්ත්‍රීවරයාගේ සියළු කෝපය නිවී ගියේය. තමන් ඉදිරියෙන් මන්ත්‍රීවරයාව වාඩි කරවා ගත් කතානායක වරයා “ මොකද මන්ත්‍රීතුමා උනේ... හොදට මතක තියාගන්න.. මේක කලාවැව නෙවේ.. මේක පාර්ලිමේන්තුව... ඒ කලාවැව චන්ඩිකම් මෙහෙ දාන්න බෑ.. මෙහෙ හැසිරෙන්න ඕනෙ පාර්ලිමේන්තුවට ඕනෙ විදියට..“  යනුවෙන් කළ අවවාද පසුව ඔහුගේ පාර්ලිමේන්තු ජීවිතය මෙන්ම කලාවැව ජීවිතයට ද පාඩමක් විය. ටික කලක් ගතවන විට ආණ්ඩුවේ සියළු මන්ත්‍රීවරුන්ගේ හිත දිනාගත් මිත්‍රයා බවට පත් වන්නට කලාවැව චන්ඩියා ට හැකිවිය.
වසරකට පමණ පසු සති අන්තයක හොරොව්පතානේ හුරුල්ලේ මහතාගේ රැස්වීමක් අමතා මැදියම්  රැයද පසුවී ආපසු එමින් සිටි අධිකාරි මන්ත්‍රීවරයාගේ මෝටර් රථයේ ඉන්ධන අවසන් විය. ඒ හරියටම කැකිරාව නගරයේ දී වූයෙන් ඉන්ධන පිරවුම් හලට ගියේ තෙල් පුරවා ගන්නටය. පොම්පකරු මර නින්දේය. රියැදුරුත් මෙම ලියුම්කරුත් බැස ගොස් පොම්පකරු ඇහැරවා “ කලාවැව අධිකාරි මහත්තයාගෙ කාර් එක.. මල්ලී.. තෙල් ගහගන්න ඕනෙ...“ කී විට මර නින්දේ සිටි පොම්පකරු “ මොන එකා උනත් දැන් තෙල් ගහන් නෑ ඕයි..“ යනුවෙන් කියනු වාහනයේ සිටි මන්ත්‍රීවරයාට ඇසුනි. තිත්ත පරුෂ වචනයෙන් තමාට කතා කරනු ඇසුනු විට ඔහු ගත් පියවර ගැන ලියන්නට ඇවැසි නැත.  පිරවුම් හල අයත්ව තිබුනේ කැකිරාව සමුපකාර සමිතියටයි. පසුදාට එළිවූයේ සදුදාවකටය. සිරිමා රජය සමයේ සදුදා යනු රටේ ම සමුපකාර වල හාල් දිනයයි. සලාක පොතේ කූපන කපා පාරිභෝගිකයනට නොමිලේ හාල් නිකුත් කරන්නේ එදාය. පෙරදා සමුපකාර සේවකයෙකුට පහර දීමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා තුරු සමුපකාරය ‘ වැඩ වර්ජනයක ‘ය. මහජනතාව හාල් නැතුව නගරයේ උද්ඝෝෂණයකය. මන්ත්‍රීවරයාට එරෙහිව ඇසු දුටු සාක්ෂි ද ඇත. දේශපාලන බලවතුන්ගේ එකම අරමුණ අධිකාරි මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමය. පොලිස් අත්අඩංගුවට ගැනීම සදහා රජයේ බලවතුන් කතානායක අනුමැතිය ලබා ගන්නට වරුවක් ගෙවෙන තුරු සියළු උත්සාහයන් දැරුව ද කතානායක ස්ටැන්ලි තිලකරත්න මහතා ඒ සදහා කිසි සේත්ම අනුමැතිය ලබා දුන්නේ නැත. අවසානයේ ඥාතියෙකු වූ රියැදුරු ද, මෙම ලියුම්කරු ද පොලිස් අත්අඩංගුවට පත්වී සති කිහිපයක්ම අනුරාධපුර නව බන්ධනාගාරයේ පෝලිම් බතේ රස විදින්නට ද සිදුවුවද, කතානායක ස්ටැන්ලි තිලකරත්න සිරිමා රජයේ මහ බලගතු ෆිලික්ස් ඩයස් ටද හිස නොනමා විපක්ෂ මන්ත්‍රීවරයෙකු රැක ගත්තේ එළෙසිනි.

No comments:

Post a Comment