මහවැලිය
කඩිනම්න් අවසන් කිරීමේ අභියෝගය ගාමිණී දිසානායක ඇමතිවරයා තමන්ගේ මුළු කාලයම ඒ සදහා
කැප කර තිබෙනු දුටිමි. මාධ්‍ය ආයතන වලින්ද මෙම යෝධ වැඩ සටහන පිළිබද තොරතුරු ජනතාව
වෙත වාර්තා කරන්නට දැවැන්ත සහයෝගයක් ලබා දී තිබුනි. සෑම සතියකම මහවැලි ප්‍රදේශ
පුරා විවිධ ඉදිකිරීම් ප්‍රගතිය ඡායාරූප ගත කරමින් වාර්තා කිරීම අපට පවරා තිබුනි. මහවැලි
ප්‍රගතිය පිළිබද ලිපියක් හෝ පිංතූරයක් පුවත්පතකට ලැබුනු විට එය නොවරදවාම හැකි ඊළග
දින පළකරනු ලබයි. එය වැඩ සටහන පිළිබදව හා ගාමිණී ඇමතිවරයා පිළිබද මාධ්‍ය ප්‍රධානින්ගේ
තිබූ ඇල්ම හා ලෙන්ගතුකම ය.
පසු කළෙක
විවිධ මුද්‍රිත මාධ්‍ය ආයතන වල දැවැන්තයන් බවට පත්වූ බොහෝ මාධ්‍යවේදීහු එදා තම
ආයතන වෙනුවෙන් මහවැලිය ආවරණය කරන්නෝ වූහ. ධර්මරත්න විජේසුන්දර,
ඩබ්ලිව්.පී. ගුණරත්න, නන්දසේන
සූරියආරච්චි, උපාලි තෙන්නකෝන් , දයාසේන ජයලත්,
ඇල්බට් ජී. පුංචිහේවා, දුෂ්‍යන්ත
සමරසේන, රෝලන්ඩ් පෙරේරා , සරණපාල පමුණුව ඉන් කිහිප දෙනෙකි. ආනන්ද ධර්මප්‍රිය මහවැලි
අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අංශය බාරව සිටි අතර ඇමති පුද්ගලික ලේකම් පාලිත පැල්පොල
සියළු මාධ්‍ය කටයුතු මැනවින් සම්බන්ධීකරණය
කළේය. බොහෝ විට නිහාල් පී ජයතුංග හෝ මා, නොඑසේ නම් අප දෙදෙනාම අතින් මාධ්‍යවේදීන්ව
මහවැලි උත්සව වලට ගෙන යාමේ කාර්යය ඉටු විය. ඉබ්බන්වලින් උදෙන්ම පිටත් වන වෑන් රථය
පත්තර කන්තෝරුවෙන් කන්තෝරුවට හා ගෙවල් සොයා ගොස් මාධ්‍ය හිතවතුන් පිරිස එකතු කරගෙන
මාදුරුඔය බලා පිටත් වෙයි. කොළඹ පත්තර කාර්යාලයේ මේසයටත්, කෑකොස්සන් ගසන කන්තෝරු
පරිසරයටත් මැදිව සිටින මාධ්‍ය හිතවතුනට මහවැලි ක්ෂෙත්‍ර චාරිකාවක් ලැබීම මහත්
සැනසිල්ලකි. විනෝදයකි. සහෝදර පත්තර කන්තොරු වල සගයන් ද සමග අල්ලාප සල්ලාපයේ
යෙදෙමින් , එකිනෙකාගේ පැරණි උපහාසාත්මක රස කතා කියා ගනිමින් ඩෙලිකා වෑන් එකක යන ඒ
ගමන එකම රස ගුලාවකි.


