Wednesday, June 15, 2016

අමුතු තැඹිලි

මහවැලිය කඩිනම්න් අවසන් කිරීමේ අභියෝගය ගාමිණී දිසානායක ඇමතිවරයා තමන්ගේ මුළු කාලයම ඒ සදහා කැප කර තිබෙනු දුටිමි. මාධ්‍ය ආයතන වලින්ද මෙම යෝධ වැඩ සටහන පිළිබද තොරතුරු ජනතාව වෙත වාර්තා කරන්නට දැවැන්ත සහයෝගයක් ලබා දී තිබුනි. සෑම සතියකම මහවැලි ප්‍රදේශ පුරා විවිධ ඉදිකිරීම් ප්‍රගතිය ඡායාරූප ගත කරමින් වාර්තා කිරීම අපට පවරා තිබුනි. මහවැලි ප්‍රගතිය පිළිබද ලිපියක් හෝ පිංතූරයක් පුවත්පතකට ලැබුනු විට එය නොවරදවාම හැකි ඊළග දි පළකරනු ලබයි. එය වැඩ සටහන පිළිබදව හා ගාමිණී ඇමතිවරයා පිළිබද මාධ්‍ය ප්‍රධානින්ගේ තිබූ ඇල්ම හා ලෙන්ගතුකම ය.

පසු කළෙක විවිධ මුද්‍රිත මාධ්‍ය ආයතන වල දැවැන්තයන් බවට පත්වූ බොහෝ මාධ්‍යවේදීහු එදා තම ආයතන වෙනුවෙන් මහවැලිය ආවරණය කරන්නෝ වූහ. ධර්මරත්න විජේසුන්දර, ඩබ්ලිව්.පී. ගුණරත්න, නන්දසේන සූරියආරච්චි, උපාලි තෙන්නකෝන් , දයාසේන ජයලත්, ඇල්බට් ජී. පුංචිහේවා, දුෂ්‍යන්ත සමරසේන, රෝලන්ඩ් පෙරේරා , සරණපාල පමුණුව  ඉන් කිහිප දෙනෙකි. ආනන්ද ධර්මප්‍රිය මහවැලි අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අංශය බාරව සිටි අතර ඇමති පුද්ගලික ලේකම් පාලිත පැල්පොල සියළු මාධ්‍ය කටයුතු  මැනවින් සම්බන්ධීකරණය කළේය. බොහෝ විට නිහාල් පී ජයතුංග හෝ මා, නොඑසේ නම් අප දෙදෙනාම අතින් මාධ්‍යවේදීන්ව මහවැලි උත්සව වලට ගෙන යාමේ කාර්යය ඉටු විය. ඉබ්බන්වලින් උදෙන්ම පිටත් වන වෑන් රථය පත්තර කන්තෝරුවෙන් කන්තෝරුවට හා ගෙවල් සොයා ගොස් මාධ්‍ය හිතවතුන් පිරිස එකතු කරගෙන මාදුරුඔය බලා පිටත් වෙයි. කොළඹ පත්තර කාර්යාලයේ මේසයටත්, කෑකොස්සන් ගසන කන්තෝරු පරිසරයටත් මැදිව සිටින මාධ්‍ය හිතවතුනට මහවැලි ක්ෂෙත්‍ර චාරිකාවක් ලැබීම මහත් සැනසිල්ලකි. විනෝදයකි. සහෝදර පත්තර කන්තොරු වල සගයන් ද සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින් , එකිනෙකාගේ පැරණි උපහාසාත්මක රස කතා කියා ගනිමින් ඩෙලිකා වෑන් එකක යන ඒ ගමන එකම රස ගුලාවකි. 

එළියට ආවොත් බයියගෙ හැටි පෙන්නනවා... මන්ත්‍රී ඒ චන්ඩිකම් මෙහෙ බෑ.. මේක පාර්ලිමේන්තුව ... කතානායක

1974 දී මුල් වරට පාර්ලිමේන්තුවට ගිය කලාවැව අධිකාරි මන්ත්‍රීවරයා ට සමගි පෙරමුණු ආණ්ඩුවේ මන්ත්‍රීවරු සැළකුවේ තරමක් හෑල්ලුවටය. රජරට නියෝජනය කිරීමත්, නවකයෙකු වීමත් මෙම හෑල්ලු කිරීමට හොද පසුබිමක් තනා දුන්නේය. එහෙත් කලාවැවටත්, යූඇන්පියටත් අධිකාරි නවකයෙකු නොවීය. හිටපු මන්ත්‍රීවරයා ශ්‍රීලංකා කාරයෙකු වුවද කලාවැව හොල්ලාගෙන සිටියේ අධිකාරි ය. එකළ රජරටත් වයඹත් නියෝජනයට හිටියේ එකම යූඇන්පී මන්ත්‍රීවරයෙකි. ඒ හිරියාල එස්.බී. හේරත් මහතාය. එහෙත් මාවතගම ප්‍රේමචන්ද්‍ර ලා, යාපහුවේ අබේරත්නලා, කටුගම්පොල ජයවික්‍රම පෙරේරලා, පොල්ගහවෙල සුනිල් රංජන් ජයකොඩිලා, කැකිරාව මහින්දසෝමලා, කලාවැව අධිකාරිලා, අනුරාධපුර චන්ද්‍රා බණ්ඩාරලා තම පළාත් හොල්ලාගෙන සිටියේ බල පරාක්‍රමයෙනි. එබැවින් අධිකාරි නවක මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුව ද මහ ලොකු තැනත් නොවීය. සමගි පෙරමුණේ ජ්‍යේෂ්ඨයෝ අධිකාරි ට කළ කෙනෙහිලි කම් අඩු වී තිබුනේ නැත. 

දිනක් පාර්ලිමේන්තුවේ අධිකාරි මන්ත්‍රීවරයා කතා කරමින් සිටිනා විට කෙළවරක් නැතුව බාධා එල්ල විය. වරක් දෙවරක් අධිකාරි මන්ත්‍රීවරයා තම කතාව නැවැත්වූයේ හිතට නැගුනු කේන්තිය නිසාමය. කතානායක අසුනේ සිටි ස්ටැන්ලි තිලකරත්න කතානායක වරයා “ මන්ත්‍රීතුමා මා දිහා බලාගෙන දිගටම කතා කරන්න..“ යනුවෙන් උපදෙස් දුන්නත් ඔහුට දැන් දැනෙනුයේ ඉවසීම සීමාව ඉක්මවා යාමට ආසන්න බවකි. හදිසියේම ආණ්ඩු පක්ෂයේ ඝෝෂාව අතරින් “ බයියා “ යන වචනයද ඇසුනි. රතුඉර පැන්නේය. අසුනේ සිට ඉදිරියට පැමිණි අධිකාරි මන්ත්‍රීවරයා “ එක්කෙනා එක්කෙනා එළියට ආවොත් බයියගෙ හැටි බලාගන්න පුළුවන්....“ යැයි මහා හඞින් කෑ ගැසීය. එය සැබැවින්ම සිංහ ඝර්ජනාවක්ම විය. අනපේක්ෂිත අභියෝගයෙන් කිපුනු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුද කලබල කරන්නට පටන් ගන්නවාත් සමගම කතානායක ස්ටැන්ලි තිලකරත්න මහතා විසින් මද වේලාවකට පාර්ලිමේන්තුව කල් තබන ලදී.

විනාඩි කිහිපයකින් අධිකාරි මන්ත්‍රීවරයා කතානායක කාමරයට කැදවන ලදී. ඔහු එහි යන විට විදුලිබල ඇමති මෛත්‍රීපාල සේනානායක මහතාද කතානායකවරයා සමග විය. මෛත්‍රීපාල ඇමතිවරයා සිනාසෙමින් “ කොහොමද අධි..“ කියා අසනවාත් සමගම අධිකාරි මන්ත්‍රීවරයාගේ සියළු කෝපය නිවී ගියේය. තමන් ඉදිරියෙන් මන්ත්‍රීවරයාව වාඩි කරවා ගත් කතානායක වරයා “ මොකද මන්ත්‍රීතුමා උනේ... හොදට මතක තියාගන්න.. මේක කලාවැව නෙවේ.. මේක පාර්ලිමේන්තුව... ඒ කලාවැව චන්ඩිකම් මෙහෙ දාන්න බෑ.. මෙහෙ හැසිරෙන්න ඕනෙ පාර්ලිමේන්තුවට ඕනෙ විදියට..“  යනුවෙන් කළ අවවාද පසුව ඔහුගේ පාර්ලිමේන්තු ජීවිතය මෙන්ම කලාවැව ජීවිතයට ද පාඩමක් විය. ටික කලක් ගතවන විට ආණ්ඩුවේ සියළු මන්ත්‍රීවරුන්ගේ හිත දිනාගත් මිත්‍රයා බවට පත් වන්නට කලාවැව චන්ඩියා ට හැකිවිය.

මහවැලි මහ සෑයට මුල්ගල් තැබූ දා ධර්මෙට අධර්මය....

කොත්මලේ මිටියාවතේ සහ අනිකුත් මහවැලි ජලාශවල දියෙන් යටවී ගිය බොදු විහාරස්ථාන සියල්ල වෙනුවෙන්  මහවැලි මහ සෑය ඉදිකරන්නට මුල් ගල් තැබූ 1983 මාර්තු  දින මාධ්‍ය සගයන්ට වැඩ අධික දවසකි. මහ කන්දක් මුදුනේ මුල්ගල් තබන තැනට මාධ්‍ය කණ්ඩායම පැමිණෙන විට තරමක් ප්‍රමාද වී තිබුනු අතර, ජනාධිපති ජේ ආර් ඇතුළු මැති ඇමතිවරුන් පැමිණියා පමණි. සියළු සෙනග අතරින් ඉහලට දිව යන කිහිපදෙනා පොලිස් නිලධාරින් විසින් නවතනු ලැබීය. පොලිසිය නොව මුළු හමුදාවක් බැරියර් දැම්මත් තමන් හෙට පත්තරේට අනිවාර්යයෙන් වාර්තා කළ යුතු උළෙලක් නිසා පොලිස් නිලධාරින් තල්ලු කරමින් කන්ද නගින්නට උත්සාහ කරන්නට මාධ්‍ය හිතවතුන්ට සිදුවිය. දිවයින පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ ධර්මරත්න විජේසුන්දරයන්ගේ ගමනට හරස් කළේ ගම්පොල පොලිසියේ උප පොලිස් පරීක්ෂක වරයෙකුය. ධර්මේ ඔහුත් සමග ටිකක් පැටලී ඔහුව පපුවෙන් තල්ලු කර දමා බලෙන්ම කන්ද නගින්නට උත්සාහ කළේය. වැරදුනේ එතැනය. ධර්මේ එස්අයි ව තල්ලුකරද්දී එස් අයි බිම ඇද වැටුනේ ධර්මේගේ අතට හසුවූ එස්අයි ගේ පපුව හරහා තිබෙන කළුපැහැ පටිය ධර්මේ අතට කැඩී යන පරිද්දෙනි.   පොලිස් පපු හරස් පටියක් සිවිල් වැසියෙකු විසින් කඩා ගැනීම බරපතල වරදකි. ඇතැම් විට එවැන්නකට ලැබෙන දඞුවම ශරීර තුවාල හා අතපය හන්දි වෙදුන් සොයා යාම දක්වා දික් වනු ඇත. ධර්මේ කර පටියද අතේ ගුලි කරගෙන කන්ද නැග තම පුවත්පත වෙනුවෙන් වාර්තාව ලීවද, ආපසු පහලට බැසීමේ අවදානම නිසා බෙහෙවින් තැති ගෙන සිටියේය. පපු හරස් පටිය හෝ වෙනත් නිල ඇදුමේ කොටසක් අහිමි වීම පොලිස් නිලධාරියෙකුට බලවත් අපහාසයක් බව කවුදෝ කියනු ඇසින.

මා සියළු දෙනා පසුකර වේගයෙන් වේදිකාව අසලට යන විටම පන්සිල් දීමේ කටයුතු ආරම්භ කරන්නට ඔන්න මෙන්නය. ගුවන් විදුලියේ සිරිල් රාජපක්ෂ තාමත් කන්ද නගින්නේය. මා දුටු සැනින් ගුවන්විදුලි බාහිර ප්‍රචාර අංශය බාරව සිටි සරත් විමලවීරයන් “ ගනින්.. ගනින්.. මයික් එක ගනින් “ කියනවා ඇසුනි. අවස්ථාව අනුව “ නමෝතස්ස භගවතෝ අරහතෝ..“ කියමින් නමස්කාරය කීවෙම්. මොහොතකින් ඇදුම හැදුනා සේ හති හලාගෙන සිරිල් අයියා මතුවිය. එවිට “ පානාතිපාතා..“ පටන් ගත්තා පමණි. “ උඹ දිගටම පන්සිල් ගනින්..“ කියන්නාක් මෙන් හති හලමින් සිරිල් අයියා අතින් සංඥා කළේය. පන්සිල් ගෙන අවසන් වනවාත් සමග සිරිල් අයියා මා අතින් මයික්‍රෆෝනය ගෙන ඉතා චතුර ලෙස විස්තර කථනය පටනි ගති. අද වන තුරු මහවැලි මහ සෑ මුල්ගල් තබන උත්සවයේ ආරම්භය ගුවන්විදුලි සජීව විකාශයේ කථනයෙන් කළේ මා බව කිසිවෙකු  නොදනී.

ජේආර් ගේ ඉල්ලීමට ජෝතිපාල ‘මෝරා‘ ගීතය ගයයි.


ශ්‍රී ලංකා දේශපාලනයේ ජේආර් සළකුණ ලෙසින් නම් කොට වෙන ඉතිහාසයක් ලිවිය හැකිව තිබේ. හිටපු ජනපති ජේආර් ජයවර්ධනයන්ගේ පාලන කාලය එතරම්ම ඓතිහාසිකය. එය දක්ෂකම්, කපටිකම්, ශූරකම්, මෝඩකම් මෙන්ම රසවත් සිදුවීම් රැසකින් ද පිරී ඉතිරී ගොස් තිබුනි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව මිත්‍ර හමුදා මෙහෙයවූ රටවල් විසින් ජපානය කොන් කර දමා තනිකිරීමේ පළිගැනීමකට සූදානම් වූ මොහොතේ , එම සැන් ප්‍රැන්සිස්කෝ සමුළුව අමතා බුදුන් දෙසූ ධම්මපද ගාථාවක් වූ “ නහි වේරේන වේරානි..“ ගාථාව කියමින් ජපානය කොන් නොකරවන්නට පෙරමුණ ගත්තේ ජේආර් ය. පසුකළෙක ජේආර් ගේ ජපාන චාරිකාවක දී ජපන් රජය ජේආර් කළ මෙහෙය අගය කරමින් තිළිණයක් දෙන්නට තීරණය කළාය. “ අපට කිසිදින අමතක කරන්න බෑ ඔබතුමා කළ මෙහෙය.. ඒ හින්දා අපි ඔබතුමාගේ රටට අංග සම්පූර්ණ රෝහලක් තිළිණ කරන්නට සූදානම් වනවා.. ඇන් කීයක වගේ රෝහලකටද ඔබතුමා කැමති. “ ජපාන අගමැතිවරයා ඇසූ පැනයට ජේආර් ගේ පිළිතුර ද පැණයකි. “ ඔබතුමාලා මෙච්චර කාලයක් පරිත්‍යාග කොරලා තියෙන ලොකුම රෝහලට ඇන් කීයක් තිබුනද..“ ජේආර් ගේ එම පැණයට පිළිතුරු දෙමින් ජපාන අගමැතිවරයා පැවසූවේ..“ ඇන් 1000 ක් මැති තුමණි “ යනුවෙනි. “ හ්ම්... එහෙනං අපිට ඇන් එක්දාස් එකක් තියෙන රෝහලක් දෙන්න..“ යනුවෙන් ජේආර් පැවසූ පිළිතුරෙන් ජපාන අගමැතිවරයා තිගැස්සී ගියේය. “  ඒක අපට සතුටක්.. ඒත් ශ්‍රී ලංකා ජනාධිපතිතුමනි.. ඔය එක්දහස් එක් වෙනි ඇ මොකටද..“  කට පැත්තට ඇද කොට නගන කපටි හිනාව මුහුණට නගාගත් ජේආර්.. “ ඒක මට..“ කියමින් කතාව නිම කළේ නියෝජිත කණ්ඩායම ද පුදුමයට පත්කරවමිනි. ජේආර් ගේ ජනපති පාලන කාලය පුරාවටම ජයවර්ධනපුර රෝහලේ 1001 වෙනි ඇ ජේආර් වෙනුවෙන් පැය 24 ම වෙන් කර තිබුනි. එහෙත් විශ්‍රාමිකව මියයන තුරුම ජේආර් එය පාවිච්චි කර නැත.

සූරියප්පෙරුම, රුක්මන්, නියතපාල තිදෙනාට එජාපය අහිමි කළ කලාවැව අතුරු මැතිවරණය

1970 වසරේ සිරිමාවෝ මැතිණිය වසර 5 කට ලබාගත් ආණ්ඩු බලය 1977 දන්වා දික් වූයේ 72 ව්‍යවස්ථාවට පිංසිදු වන්නටය. එහෙත් බලය උපරිමව යොදා ගනිමින් මාධ්‍යය පවා මර්ධනය කරමින් අපරාජිතව රට පාලනය කළ මැතිණියට 1974 වසර අතිශය තීරණාත්මක වූයේ කලාවැව ආසනයේ අතුරු මැතිවරණය හේතුවෙනි.  ඒ වන විට වසර 18 ක් තිස්සේ  කලාවැව ආසනය නියෝජනය කරන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ  ආර්.බී. රත්නමලල නම් මන්ත්‍රීවරයාය. ඔහුව පැරදවීම යූඇන්පි යට ලෙහෙසි කරුණක් වී තිබුනේ නැත. වරෙක රිචඩ් අළුවිහාරේ වැනි දැවැන්තයෙකු පවා රත්නමලල යන්ට එරෙහිව යෙදෙව්වත් කලාවැව එජාප යට ජය ගැනීමට නොහැකි විය. රත්නමලල මන්ත්‍රීවරයාගේ අභාවයෙන් පැවැති කලාවැව අතුරු මැතිවරණය එජාප යෙන් තරග නොකොට අතහරින්නට තීරණය වී තිබූ බව අද එජාප යේම බොහෝ දෙනෙකු නොදන්නවා ඇත. කලාවැව ආසනය සදහා සිරිමාවෝ රජය අනුර බණ්ඩාරනායක මහතාව නම් කළ හොත් එජාප යෙන් අපේක්ෂකයෙකු නොදමන්නට ජේආර්-සිරිමා අතර රහස් එකගතාවයක් ඇතිකරගෙන තිබුනි. එය ජේආර් විසින් නොනිල ලෙස පක්ෂයට දන්වා තිබුනි.

එහෙත් මෙවර තමාට කලාවැව දිනන්නට හැකි බවට එජාප සංවිධායක අධිකාරි ට තිබූ දැඩි විශ්වාසයත්, තමාට නාමයෝජනා නොදෙන්නේ නම් වෝඩ් පෙදෙසේ නිවස ඉදිරිපිට දිවිනසාගන්නා බවට කළ තර්ජනයත් ඉදිරියේ ජේආර් ට පියවරක් පස්සට ගැනීමට සිදුවිය. සිරිමාවෝ සමග රහස් ගිවිසුම් ගසා අනුර බණ්ඩාරනායකට කලාවැව අතුරු මැතිවරණයෙන් නිතරගයෙන් පාර්ලිමේන්තුවට එන්නට පාර කපමින් සිටි ජේආර් , මොහොතනට අධිකාරි ඉදිරියේ අසරණ වූයේ අධිකාරි ඩඩ්ලි විසින් පත්කළ යූඇන්පී කාරයෙකු වීම නිසාය. කිසිවකුටත් දැනගැනීමට ඉඩ නොතබා නාමයෝජනා සදහා අනුමැතිය ලබාදෙන ලිපියට අධිකාරි බලෙන්ම වාගේ ජේආර්ගේ අත්සන ලබාගත්තේ එක්තරා දිනෙක මධ්‍යම රාත්‍රියත් පසුවූ රැයෙක දීය. පසුදා  ඔවුන් රැගත් ජීප් රථය හිරිපිටියාගම නිවසට පැමිණෙන විට ඉර පායා තිබින. උදෙන්ම අනුරාධපුර කච්චේරියට ගිය අධිකාරි  කිසිවෙකුටවත් නොකියා ඇප මුදල් තැන්පත් කොට මහ සටනේ මුල පිරීය.