අද ලිපියේ සිදුවීමට සම්බන්ධ සංගීතවේදීන්
දෙදෙනාම ශ්‍රී ලංකාවේ නම රැන්දුවෝ වෙති.
පළමුවැන්නා ප්‍රවීන සංගීතවේදී පී.එල්.ඒ. සෝමපාලයන්ය. 1921 සැප්තැම්බර් 13 වනදා මාලිගාකන්දේ උපත ලැබූ
සෝමපාලයන් මරදානේ සෙන්ට් ලෝරන්ස් විද්‍යාලයෙන් අධ්‍යාපන කටයුතු අරඹා පසුව සංගීතවේදී
ලයනල් එදිරිසිංහයන් වෙත ගොස් සිතාරය වාදනය හැදෑරීය. දක්ෂ වයලීන වාදකයෙකු ලෙසද
හැකියාව ප්‍රගුණ කළ පී.එල්.ඒ. සෝමපාලයන් 1943 දී එවකට ‘ රේඩියෝ සිලෝන් ‘ හි සංගීත
වාදකයෙකු ලෙස එක්ව ඇත. එකල ග්‍රෑමෆෝන තැටි සදහා සංගීත දායකත්වය ලබාදුන් සෝමපාලයන්
, සුනිල් ශාන්තයන් හා යුග ගායනා වලට එක්වූ චිත්‍රා පෙරේරා නම් වූ සුකොමල තරුණිය හා
විවාහ වී නව සංගීත යුගයක් බිහි කළේය. චිත්‍රා සෝමපාලයන් ගැයූ ඉසුරුමුණියේ, උඩරට
කදුකර, ලලිත කලා, දඹුළු ගලේ, ගාලු පුරේ සිරී ආදී ගීත සියල්ලේම තනු නිර්මාණය වූයේ ඒ
ආදරණීය සැමියා අතිනි.
ජෝතිපාල හා පී.එල්.ඒ දෙදෙනා අතර පැවතියේ
දැඩි ලෙන්ගතු බැදීමකි. 70 දශකයේ ඇරඹෙන ජනප්‍රිය සිනමා රැල්ල සමග ජෝතිපාලයන් ජනප්‍රියත්වයේ
හිණි පෙත්තටම එසැවෙන්නේ සෝමපාලයන් නිර්මාණය කළ අතිශය ජනප්‍රිය ගී සමුදාය නිසාය.
එකල භාරතයේ අතිශය ජනප්‍රිය එහෙත් ලංකාවේ එතෙක් ජනප්‍රියව නොතිබූ හින්දි ගීත සොයා
ඒවායේ තනු උපයෝගී කරගෙන සිංහල සිනමාවට අතිශය ජනප්‍රිය වූ ගීත දායාද කළේ පී.එල්.ඒ.
සෝමපාලයන් හා ජෝතිපාල යන දෙදෙනා බව කීවොත් එය අතිශෝක්තියක් නොවේ. ‘කොයි යන්නේ ‘,
‘මේ දෑස මගේ පින්වන්තයි‘, ‘ඈත දිලිසෙන හිරු සදු‘ , ‘ සුසුදු රැල්ල‘ , ආදියෙන් පටන්
ගෙන සිහිපත් කළහොත් ජනප්‍රිය චිත්‍රපට ගී සිය ගණනක් සිහිපත් කර ගත හැක. ජොතිපාලයන්
තමන්ට ගැයීමට ලැබෙන ඕනෑම ආකාරයක තනුවක් උපරිම මට්ටමින් ගයන්නට හැකි අති දක්ෂ ගායන
ශිල්පියෙකු විය. හින්දි තනුවකට අනුව ලියැවුනු කරු අයියාගේ පද වැලක් හින්දි තනුව
අමතක වී “ අපේම ගීයක්“ ලෙස ගයන්නට ජෝතිට තිබුනේ පුදුම හැකියාවකි. “ එපා එන්න
කියලා“, “ අඞන්නෙ ඇයි සුදු මැණිකේ“ ආදී ගීත ඇසෙන විට අදත් සිහිවන්නේ ජෝතිගේම ගීයක්
මිස හින්දි තනුවක් නොවේ. බොහෝ ගායක ගායිකාවනට ‘ පාලයියා‘ වූ සෝමපාලයන් ජෝති ට
නිකම්ම ‘පාල‘ ය. ඒ ජෝති එතරම් ම හිතවත් මිතුරෙකු වූ නිසාය. බොහෝ විට 70 දශකයේ චිත්‍රපටයකට
ගීත 9 ක් පමණ ඇතුළත් වූ අතර ඉන් තුනක් හෝ හතරක් අනිවාර්යයෙන්ම ගයන්නේ ජෝතිපාල ය.
ඇන්ජලීන් සමග යුග ගී කීපයක් හා එම්.එස් ගේ ගීයක්ද ඇතැම් විට බෙග් මාස්ටර්ගේ ගීයක්
ද ඒ ගොන්නට එකතු වේ. ජෝති ට ලැබෙන හින්දි තනුවක් ගයන්නට පෙර පාල සමග ඒ ගැන කතා
කිරීම දෙදෙනාගේම පුරුද්දකි.






